බුදුන්ගේ පච්චය කෙටූ විදෙස් කත නිදහස්. පොලිසියට දඩ!!

බුදුන්ගේ පච්චය කෙටූ විදෙස් කත නිදහස්. පොලිසියට දඩ!!

කොළඹ කටුනායක ගුවන්තොටුපොළේදී බුදුන්ගේ පච්චයක් කොටාගෙන සිටීම නිසා විදෙස් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ට අදාළ මූලික අයිතිවාසිකම් නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කෙරිණි.

නයෝමි මිෂෙල් කෝක්මන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව 2014 අගභාගයේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සිටි අතර නැවත සිය රට බලා යාමට කටුනායක ගුවන් තොටුපෙළේ සිටියදී ඇගේ දකුණු බාහුවේ කොටාගෙන සිටි පච්චයක් හෙවත් ටැටූ එකක් හේතුවෙන්, ඇය සදාචාර විරෝධී ක්‍රියාවක යෙදුණු බව කියමින් වහාම පොලිස් අත්අඩංගුවට ගැනිණි.

මෙහිදී අදාළ කාන්තාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් බවට පත් කර තිබුණේ නීතිපතිවරයා, පොලිස් සාජනට් උපසේන, කටුනායක පොලිසියේ ස්ථානාධිපති සුරවීර, මීගමුව බන්ධනාගාරයේ ප්‍රධානියා, එවකට පොලිස්පති එන්.කේ. ඉලන්කෝන් මහතා සහ ආගමන විගමන පාලක චූලානන්ද ද සිල්වා මහතා ය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ විදෙස් කාන්තාවට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ආණ්ඩුවෙන්ද, නඩු වියදම් වශයෙන් තවත් ලක්ෂ 2 ක් ද ගෙවීමට නියම කළ අතර මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමට වරදකරුවන් වූ පොලිස් සාජන්ට් උපසේන සහ කටුනායක පොලිසියේ OICවරයාට රුපියල් පණස් දහස (50000/-) බැගින් පුද්ගලිකව ද වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කිරීමයි.

මූලික අයිතිවාසිකම් නඩු අංක 136/2014 යටතේ විභාගයට ගැනුණු මෙහිදී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 සහ 126 වගන්ති උල්ලංඝනය වී ඇති බවට තර්ක කෙරිණි. 3 වන පරිච්ඡේදයේ අවසන් වගන්තිය වන 17 ව්‍යවස්ථාව විධායක ක්‍රියාවකින් මූලික අයිතිවාසිකම් කඩවීමට අදාළ ප්‍රතිකර්ම සඳහන් වන අතර, 126 වගන්තිය (ව්‍යවස්ථාව) මූලික අයිතිවාසිකම්වල අධිකරණ බලය සහ එය ක්‍රියාවට නැංවීම පිළිබඳ ප්‍රතිපාදන අන්තර්ගත වේ.

ශ්‍රී ලංකා පොලිසිය නීතිය හා සාමය රැකීම කෙසේ වෙතත්, සදාචාරය රැක ගන්නා බව කියමින් ආන්දෝලනාත්මක ක්‍රියාවන් හි නිරත වෙමින් සිටින බව නොරහසකි.

විශේෂයෙන්ම පසුගිය සමයේ එකපිට එක වශයෙන් වාර්තා වූ සිද්ධි ගණනාවකින් පෙනී ගියේ ඔවුන් විසින් උද්‍යානවල සිටින තරුණ යුවළ පවා, සදාචාරවිරෝධී හැසිරීම් සඳහා චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීම යනාදිය මගින් පුරවැසියන්ව අපහසුතාවට පත්කරන බවයි. එනිසා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස් දෙපාර්තමේන්තුවේ ඇස් ඇරවන්නක් වනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති

-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment