දෙමළ සන්ධානයට එරෙහිව අලුත් දෙමළ පක්‍ෂයක්‌.

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කටයුතු කළ හැකි අන්දමේ නව දෙමළ දේශපාලන පක්‌ෂයක්‌ අලුතින් පිහිටුවීමට තමන් කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ ඊ.පී.ආර්.එල් එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා 11 දා යාපනයේ මාධ්‍ය ආයතනවලට ප්‍රකාශ කොට තිබේ.

අලුතින් පිහිටුවනු ලබන දෙමළ දේශපාලන පක්‌ෂය ඉතා ක්‍රියාකාරී පක්‌ෂයක්‌ ලෙස පවත්වාගෙන යාමට හැකි දේශපාලන වාතාවරණයක්‌ මේ වන විට උතුරු පළාතේ නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා තම නව පක්‌ෂය නැගෙනහිර පළාත් තුළ ද ක්‍රියාත්මක කරන බව කියා සිටියේය.

දැනට දෙමළ ජාතික සන්ධානයට ඉතිරි වී ඇති දේශපාලන පක්‌ෂ තුන අතරින් යාන්තමට හෝ ජීවයක්‌ ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‌ෂයට පමණක්‌ බව පැවසූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා, එම පක්‌ෂය ද කටයුතු කරන්නේ උතුරේ දෙමළ ජනතාවට අවශ්‍ය අන්දමට නොව ඉන්දියාවේ ප්‍රබල දේශපාලනඥයින්ට අවශ්‍ය අන්දමට බවද ප්‍රකාශ කොට තිබේ.

 මේ තත්ත්වය මත ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‌ෂයට පැහැදිලි අනාගතයක්‌ නොමැති බව කියා සිටින ඔහු ඉතිරි වී ඇති ප්ලොට්‌ හා ටෙලෝ යන දේශපාලන පක්‌ෂ දෙකට දෙමළ ජාතික සන්ධානය ගොඩගැනීමට කිසිසේත්ම නොහැකි බවද කීවේය.

(දිවයින)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment