බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට: තවත් ‘සර්ව පාක්ෂික’ සෙල්ලමක් - ගාමිණී වියන්ගොඩ

බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට: තවත් ‘සර්ව පාක්ෂික’ සෙල්ලමක් - ගාමිණී වියන්ගොඩ
දැන් සරළ සමීකරණයකට අපට එළැඹිය හැකිය. අලූත් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක්‍රියාවලියට නායකත්වය ද වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ ජනාධිපතිවරයා මගහරිමින් සිටීම පිළිබඳ කාරණය එක පැත්තක තිබේ. ඒ කාලය තුළ ඔහුගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක‍්‍රමය ආරක්ෂා කර ගත යුතු බවට ජනමතයක් ඇති කිරීමට වෙර දැරීම තවත් පැත්තක තිබේ. ඒ සියල්ල මධ්‍යයේ, බලතල බෙදා හැරීම සහ ජාතික ප‍්‍රශ්නයට දේශපාලනික විසඳුමක් සැපයීම ප්‍රතික්ෂේප කරන ජනමතයක් ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටි මහින්ද රාජපක්ෂ කඳවුරේ සකල ජාතිවාදීන් ජනාධිපතිවරයා කෙරෙහි අලූතින් විශ්වාසයක් තබා තිබේ. අවසානයේදී ජනාධිපතිවරයාම, තවදුරටත් සමාජ සංවාදය සඳහා යැයි කියමින් අලූත් වටයකින් නැවතත් පරණ ‘සර්ව පාක්ෂික සමුළු’ තැටිය එළියට ගෙන තිබේ.
 
රටකට නායකයෙකු අවශ්‍ය කරන්නේ කුමක් සඳහා ද ? 
 
ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතාව නායකයෙකු පත්කර ගන්නේ, තමන්ගේ අභිවෘද්ධිය සඳහා තමන්ව පාලනය කිරීමටයි. තමන්ගේ අභිවෘද්ධිය සඳහා තමන්ව පාලනය කළ යුත්තේ ‘කෙසේද’ යන දැනුම සහ විශේෂඥතාව තමන්ට වඩා නායකයන්ට ඇතැයි යන විශ්වාසයක් ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතාවට තිබේ. විශේෂිත වූ පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඒ සඳහා ඔවුන් පත්කර ගන්නේ එබැවිනි. නායකයෙකුගේ හෝ පක්ෂයක බුද්ධිමත් ඉදිරි දැක්ම රටකට වැදගත් වන්නේ මෙහිදීය. එහිදී ඔහු සිටිය යුත්තේ ජනතාවට පසුපසින් නොව, ඉදිරියෙනි. නායකයා යන්නෙහි අර්ථයත් එයමැයි.
 
ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම, බලතල බෙදාහදා ගැනීම සහ අලූත් මැතිවරණ ක්‍රමයක් ඇති කර ගැනීම පිළිබඳ ප‍්‍රතිපත්තිමය අවසරය විවිධාකාරයෙන් ජනතාව විසින් ලබා දී තිබේ නම් සහ තමනුත් එම විශ්වාසය දරයි නම්, නායකයා කළ යුත්තේ තමන්ගේ ඉදිරි දැක්ම තුළ එම ජනතා අභිලාෂය විධිමත්ව ස්ථානගත කර ගැනීමයි. ඊට නායකත්වය දීමයි. හැම වංගුවකදීම, ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර නැවත නැවතත් ජනතාවගෙන් විමසීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යැයි ගැනීම, නොකෙරෙන වෙදකමකට දැනුවත්ව කර ගැසීමක් මිස, රටකට අවශ්‍ය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකත්වය සැපයීමක් නම් නොවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment