පොලිස්පති තුමනි, ඔබට හිටපු පොලිස්පති ආනන්ද රාජාව මතකද?

ඉහළ පොලිස් නිලධාරීන් අතර දැන් ජනප්‍රිය කතාවක් වන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දරට දිට්ඨධම්මවේදනීය කර්මය ඵල දී ඇතැයි යන්නයි. පොලිස්පතිවරයා විදුලි සෝපාන ක්‍රියාකරුට පහරදීමේ වීඩියෝව පමණක් නොව පොලිස්පතිවරයා කුප්‍රකට කැරෝකේ වසන්ත සමඟ සාද පවත්වන ඡායාරූප ද 'ලීක්' වීමෙන් අනතුරුව  මෙම කතාව වඩ වඩාත් පැතිර ගොස් තිබේ. එහෙත් ඇත්තට ම කර්මය ඵල දී ඇත්ද ?

ආනන්ද රාජා පොලිස්පතිවරයා සේවයෙහි නියුතුව සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිවරියව සිටි කාලයේය. ඒ යුගයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සැකකෙරුණු පුද්ගලයකුගේ නිවෙසක් වටලා පරීක්ෂා කර තිබිණි. එහිදී වීඩියෝ පට රැසක් හමු වී තිබුණු අතර ඉන් එකක වූයේ පොලිස්පති ආනන්ද රාජා එකී සැකකරුවා සමඟ සාදයකට සහභාගී වී සිටින දර්ශනයි. මෙම කතාව ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් මාධ්‍ය වෙත ලීක් වී තිබිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සේවා දිගුවක් නොලබා ම පොලිස්පති ආනන්ද රාජාට ගෙදර යන්නට සිදු වීමයි. එදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානියාව සිටියේ පූජිත් ජයසුන්දරය. වීඩියෝවේ සඳහන් කතාව සහ ඡායාරූප මාධ්‍යයට ලීක් කිරීම ගැන එදා චෝදනාව එල්ල වුණේ පූජිත්ටය.

එහෙත් ඒ එදාය. තොරතුරු මාධ්‍යයට ගියේ කොයි ආකාරයෙන් ද යන්න පිළිබඳව එදා ජනපතිනිය වද වුණේ නැත. කතාව ඇත්ත නිසා ඇය වෙනත් පොලිස්පතිවරයකු පත් කරගත්තාය. අද තත්වය වෙනස්ය. සුළු සේවකයකුගේ කන පළන්නට පොලිස්පතිවරයා සැරසෙන ආකාරය ගැන වීඩියෝවක් රට පුරාම සංසරණය වුණත් අද පරීක්ෂණ කෙරෙන්නේ වීඩියෝව ලීක් වුණේ කොයි ආකාරයෙන්ද යන්න ගැනය. දැන් කුප්‍රකට සම්බාහන ආයතන හා ගණිකා නිවාස හිමියකු සමඟ පොලිස්පතිවරයා සාද පවත්වන ඡායාරූප පළ වී තිබියදී කාගෙත් කටේ පිට්ටුය.

පූජිත් ජයසුන්දර කයිවාරු ගහන්නේ නම් පිවිතුරු පොලීසියක් හදන්නටය. එහෙත් ඔහු ළඟින් ඇසුරු කරන්නේ අපවිත්‍ර චරිතය.

කැරෝකේ වසන්ත යනු නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන සහ ගණිකා නිවාස පවත්වාගෙන යාම පිළිබඳව චෝදනා ලබා ඇති පුද්ගලයෙකි. එපමණක් නොව එකී චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සඳහා පැමිණි උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබුවෙකි. දැනට ඔහුට එරෙහිව විමර්ශන කටයුතු කෙරෙන චෝදනා ගණන 8කි. පොලිස්පති පූජිත් ජයසුන්දර පාටි දමන්නේ එවැනි චරිත සමඟය.

ලංකා නිව්ස් වෙබ් අපට ආරංචි වී ඇති ආකාරයට නම් පොලිස් කොමිසම මෙවරත් කැරෝකේ වසන්ත සමඟ සාද පැවැත්වීම ගැන අපේ වාර්තාවේ පිටපත් රැගෙන ඒවා ව්‍යවස්ථා දායක සභාවට යොමුකර තිබේ. එය පැහැදිලිව ම බෝලය පාස් කිරීමකි. ව්‍යවස්ථාදායක සභාවත් මීට පෙර කටයුතු කළ ආකාරයෙන් ම පොලිස්පති පූජිත්ව කැඳවා "ඔබතුමාම තීරණයක් ගන්න, අපි ඔබතුමාගේ තීරණය දිහා බලාගෙන ඉන්නවා"යි පවසනු ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දර රෙදි අඳින්නේ ලැජ්ජාවට නොව පුරුද්දටයැයි අප කීවේ නිකම්ම නොවේ. ව්‍යවස්ථාදායක සභාව විසින් ඉල්ලා අස්වෙන්නැයි කියා තිබියදීත් පූජිත් ජයසුන්දර යසට මෙසේ තනතුරේ හිඳින්නේ ඔහු විලිලැජ්ජාවක් ගැන හාංකවිසියක්වත් නොදත් නිසාය. පූජිත්ව ගෙදර යැවීම සඳහා කොන්ද පණ ඇති කෙනෙකුගේ මැදිහත් වීමක් අවශ්‍ය වන්නේ එබැවිනි. එහෙත් අවාසනාවට මෙන් එවන් කොන්ද පණ ඇති චරිතයක් පේන මානයකවත් නැත.

පොලිස්පති පූජිත් ජනාධිපතිවරයා ශේප් කරගන්නේ ජනාධිපතිගේ පාර්ලිමේන්තු ලේකම්වරයා හරහාය. කැරෝකේ වසන්තලා සමඟ පාටි දමන පොලිස්පතිවරයකු රටට ලැබීමේ අභිමානයෙන් කොටසක් ඒ ලේකම්වරයාට ද හිමිවිය යුතුය.

පහත දැක්වෙන්නේ සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘‘කැරොකේ වසන්ත“ පිළිබඳ අප පළ කළ ලිපියට ඔහු විසින්  සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබූ ආකාරයයි. 

(LNW)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment