ජාතික ආණ්ඩුවේ අවශ්‍යතාව නොදත් අය නිහඬව සිටීම සුදුසුයි - දුමින්ද දිසානායක

ජාතික ආණ්ඩුවේ අවශ්‍යතාව නොදත් අය නිහඬව සිටීම සුදුසුයි - දුමින්ද දිසානායක

එක් පක්ෂයකට කළ නොහැකි දේ ඉටු කිරීම සදහා ජාතික වගකීමකින් යුතුව යහපාලන ආණ්ඩුවක් නිර්මාණය කළ නමුත් ඒ ආණ්ඩුවේ ඇතැම් නියෝජිතයන්ට ඒ වගකීම මේ දක්වා අවබෝධවී නැතැයි ඊයේ (නොවැ 24) මහනුවර කුණ්ඩසාලේ දී පැවැති හමුවකදී අමාත්‍යවරයා කීවේය.

යහපාලන ආණ්ඩුව තුළ යම් අභ්‍යන්තර ගැටලුවක් ඇත්නම් එය අභ්‍යන්තරව සාකච්ඡා කොට විසදාගැනීම මිස යහපාලනයේ අරමුණු නොදැන විවිධ ප්‍රකාශ නිකුත් කිරීම කිසිසේත්ම සුදුසු නැතැයි කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

‘වර්ෂ 2015 ජනවාරි 08 වන දින ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වුණේ නැහැ. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට සභාපති හා මහ ලේකම්වරයා අතරයි තරගයක් තිබුණේ. සභාපතිවරයා පරාජයට පත්ව මහ ලේකම්වරයා ජය ලැබුවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජයක් සිදුවුණේ නැහැ. හිටපු සභාපති පරාජය වුණා කියලා වර්තමානයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමක් සිදු නොවිය යුතුයි.

පක්ෂයේ සභාපතිකම හිමිවුණු අවස්ථාවේ සිටම පක්ෂය සමග කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සහ කරනවා. අද පවා එතුමා කියා සිටින්නේ සියලු දෙනාම පක්ෂය හා එක්විය යුතු බවයි. ඒ සදහා පැමිණෙන ලෙස එතුමා ඉල්ලා සිටින අතර ඔවුන්ට ඕනෑම අවස්ථාවක යළි පක්ෂය වෙත පැමිණීමට දොර විවෘතයි.

නමුත් පුද්ගලයෙකුගේ අවශ්‍යතාව මත පක්ෂය දෙකඩ කිරීමට කරන උත්සහයක් තමයි අපට දැකිය හැක්කේ. තනි පුද්ගලයෙකු වෙනුවෙන් පක්ෂයක් දෙකඩ කරන්නේ කුමකට ද? පාක්ෂිකයන් ඒ වෙනුවෙන් වෙනස් මතයක් දැරිය යුතු නැහැ. ඔවුන් පක්ෂය වෙත පැමිණිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම වෙනුවෙන් අප ඇතැම් දේ දුටුවත් නොදැක්කා වගේ ඉන්නවා.

ප්‍රධාන පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන හෝ මැතිවරණයකට සූදානම්වුණේ දැනට වසරකට පමණ ඉහත සිටයි. පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවල කිසිම මන්දගාමීත්වයක් නැහැ. පක්ෂය දිනවීම සදහා සියලු පාක්ෂිකයන්ගේ උපරිම කැපවීම හා උපරිම සහයෝගය ලැබෙනවා. ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී දිස්ත්‍රික මට්ටමින් රැළි ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව' ද අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment