අලි පැටවා විපත්තියෙන් බේරාගෙන පුංචි දරුවෙකු කරපියාගෙන යන්නා සේ ඔහුට ජීවිත දානය දුන් කැලෑ ආරක්ෂකයා 28 හැවිරිදි පලනිසාමි සරත්කුමාර් ය.
පුංචි වුණත් මේ අලිපැටියා පලනිසාමිට ද වඩා බරැති ය. පලනිසාමි එදා, දෙසැම්බර් 12 වැනිදා සිටියේ බෝ සේ විඩාබරව ය. ඔහු රෑ වැඩ මුරය අවසන් වී උදා කණිසමට ගෙදර යමින් සිටියේය. ඇතිත්නියක් පැමිණ වන්නභද්‍ර කාලිඅම්මාන් කෝවිල අසල මග හරස්කරගෙන සිටින බව ඔහුට ඇමතුක් මගින් දැනගන්නට ලැබී තිබිණි. ඇතින්නිය හඬමින් සිටියාය. මනු සතා ගැන කොහෙත්ම විශ්වාසයක් තබන්නට බැරි නමුත් ඇයට අන් සරණක් එවේලේ තිබුණේ නැත.
තිතට බලනවා නම් පලනිසාමි මේ වන විට ‘ඩියුටි ඕෆ්‘ ය. නමුත් මනුෂ්‍යත්වය කිසිවිටෙක ‘ඩියුටි ඕෆ්“ වන්නේ නැත. ඔහු මිතුරන් සමග එක්ව රතිඤ්ඤා ගසා මුලින් ඇතින්නියව වනයට පන්නා දැමුවේය. ඉන්පසු ඇගේ දරුවා සොයන්නට විය. අගලක වැටී හති දමමින්, ගොඩ එන්නට දඟලමින් අලි පැටවා සිටියෙ ජීවිතය දමා යන්නට ආසන්න තැනක ය. ලොකු ගලක් අගල තුළට දමා, එයද ආධාරයෙන් ඔහු අලි පැටවාට ගොඩට එන්නට පාලමක් තැනුවේය.
පලනිසාමිට උවමනා වුණේ ඒ වේලාවේම මව ළඟට දරුවා යවන්නට ය. නමුත් දරුවා සිටියේ ඇවිද ගන්නට පුළුවන් තත්වයක නොවේ.
ඒ නිසා පලනිසාමි අලි පැටවා කර තබා ගත්තේය. මුලින් ඔහු ඇද වැටෙන්නට ගියේය. පසුව සිතට දිරිය ගෙන දෙපා සරි කර ගත්තේය. ඔහුට ඒ මොහොතේ දැනුණේ මේ පුංචි ආත්මය ජීවිතය යදින බව පමණක්ම ය.
මීටර 50 ක් එසේ කර තබාගෙන ගිය අලිපැටවා බිමින් තැබුණේ දිය බෙණයක් අසල ය. ඒ, ඇතිනි මවට එතැන ලෙහෙසියෙන්ම සොයාගන්නට පුළුවන් නිසා ය. පැය කිහිපයක් යන තෙක් මව ආවේ නැත. මනු සතා තම පැටියාට කුමක් කරන්නේදැයි ඇය සිතමින් සිටින්නට ඇත. නමුත් අවසානයේ ඇය ආවාය. ඒ වන විට පලනිසාමිලා පෙනෙන්නට සිටියේ නැත. ඒ රාත්‍රිය වූ නිසා ය.
ඇය සිය දරුවා ව හොඬවැලෙන් තරකොට බදා වැළඳ ගන්නට ඇත. පුතාගේ දිවි බේරාගත් පලනිසාමි ට සිතින් පින් දෙන්නට ඇත.
පසුදින උදේ රැයින්ම පලනිසාමි දිය බෙණය වෙත ආවේය. පැටවා පෙනෙන්නට නොසිටියේය. නමුත් මව සහ පැටවා වනය තුළට ගොස් ඇති බව හඟවන අඩි සලකුණු සහ කිරිමැටි පිඬ දිය බෙණය අවට නොමඳව තිබිණි. ඔහු සැනසුම් සුසුමක් හෙළුවේය.
පලනිසාමිගේ උස අඩි හයකි. බර කිලෝ 80 කි.
ඔහු කරේ තබාගෙන දිව් අලි පැටවාගේ බර කිලෝ 100 කි.
පලනිසාමිගේ වික්‍රමය ලොව පුරා පැය ගණනක් ඇතුළත ප්‍රචලිත විය. එහි වීඩියෝ පට ද ඉන්දීය රූපවාහිනී චැනල ඔස්සේ විකාශය විණි. දැන් මිනිසුන්ට ලොකු ප්‍රශ්නයකි. ඒ සැවොම අසන්නේ එකම එක පැනයකි.
‘‘කොහොමද අලි පැටියෙක්ව කරේ තියාගත්තෙ...?“
පලනිසාමි ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නට මහන්සි වන්නේ නැත.
- රදිකා ගුණරත්න
0 comments :
Post a Comment