කැබිනට්‌ මණ්‌ඩලය දැන් නීති විරෝධියි?


ජාතික ආණ්‌ඩු ගිවිසුමේ කාලය පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අහෝසිවී ඇති බැවින් යහපාලන ආණ්‌ඩුව මේ වන විට නීති විරෝධී, ව්‍යවස්‌ථා විරෝධී කැබිනට්‌ මණ්‌ඩලයක්‌ හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් සිටින ආණ්‌ඩුවක්‌ බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (3 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂ නායකයන්ගේ මාධ්‍ය හමුවේදීය.

ශ්‍රීලනිපය හා එජාපය වසර දෙකකට ජාතික ආණ්‌ඩුවක්‌ සඳහා ගිවිසුමකට අත්සන් කර පසුව එහි කාලය 2017 දෙසැම්බර් 31 වැනිදා දක්‌වා දීර්ඝ කරගත් බවත් එහි කාලය ඉකුත්වී දින තුනක්‌ ගතවී ඇතත් ශ්‍රීලනිපය මේ සම්බන්ධව නිහැඬියාවක්‌ දක්‌වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙය දේශපාලන වශයෙන් පමණක්‌ නොව ව්‍යවස්‌ථාමය හා නෛතික වශයෙන්ද බරපතලම ගැටලුවක්‌ බවද හෙතෙම පැවැසීය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 19 වන සංශෝධනයේ 46 වන වගන්තිය යටතේ ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැති ධුර සංඛ්‍යාව 30 කටත්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 40 කටත් සීමාවී තිබෙනවා. එහෙත් ජාතික ආණ්‌ඩු සංකල්පය යටතේ කැබිනට්‌ ඇමැති ධුර සංඛ්‍යාව 45 දක්‌වාත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 55 දක්‌වාත් වැඩිකර ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගත්තා. ජාතික ආණ්‌ඩු ගිවිසුමේ කාලය අවසන් වී ඇති බැවින් ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැතිවරු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව නිත්‍යානුකූල වන්නේ නැහැ යෑයිද ඩලස්‌ අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවැසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment