ජනේරුව තමත් කළුයි! - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කළු ජනේරුව සැමරූ හැටි

ජනේරුව තමත් කළුයි! - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කළු ජනේරුව සැමරූ හැටි

මේ විනිර්මුක්තිය අවසන් වන්නේ කවදාද? වරදකරුවන් විපාක නොලබා නිදැල්ලේ සිටීම අවසන් වන්නේ කවදාද?

ඝාතනයට ලක් වූ, අතුරුදහන් කෙරුණු සහ විවිධ වධහිංසාවන්ට ලක් කෙරුණු මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘කළු ජනේරුව‘ ඊයේ (ජනවාරි 30) සවස විහාර මහා දේවි උද්‍යානය අසලදී පැවැත්විණි. එහි මූලික සංවිධාන කටයුතු අතරමගදී එතැනට පැමිණියේ පොලිසිය සහ හමුදාවයි. ඔවුන්ගේ සුපුරුදු තර්කය වූයේ ‘‘විරෝධතාවයක් පවත්වනව නම් කලින් අවසර ගන්න ඕනෑ‘ යන්නයි. එතැන බුදු පිළිමයක් තිබෙන බවත් ඔවුන්ගෙන් කෙනෙක් මතක් කර දී තිබිණි!

ඉතා පැහැදිලි ලෙසම අප තවමත් ජීවත් වන්නේ පාර අද්දර නිදහස් මාධ්‍යෙව්දීන් විසින් පවත්වනු ලබන සාමකාමී විරෝධතාවයකට, සාමකාමී පහන් දැල්වීමකට පවා ‘බලධාරීන්ගෙන් අවසර ගත යුතුය‘ යන මානසිකත්වය ඉතිරි වී තිබෙන රටක ය. එසේ අවසර ගැනීමේ අවශ්‍යතාවය නමැති පුස්ස පසෙක තැබුවහොත් මෙහිදී නැවත නැවතත් ඉස්මතු වන කාරණය, වසර 30 ක යුද්ධයකින් පසුව, ලංකාව දැන් යන්නේ සංහිඳියා මාවතේ බවට ගිරිය පුප්පාගෙන කෑ ගසන රටක සාමාන්‍ය සමාජය තුළ සහ විශේෂයෙන්ම ආරක්ෂක අංශ තුළ තවමත් පවතින මානසික තත්වයයි. පාලකයන් සහ ආරක්ෂක අංශවල ජනමාධ්‍ය නිදහස කෙරෙහි තවමත් පවතින සැකය, අවිශ්වාසය, වෛරය සහ කුමන්ත්‍රණ පිළිබඳ අහේතුක බිය සහ සිවිල් වැසියන් වෙත දක්වන නොරිස්සුම සම්බන්ධයෙන් එය ඉතා සුළු සාක්ෂියක් පමණි.

ජනමාධ්‍යවේදින් ඝාතනය සහ අතුරුදහන් කිරිම්, ඔවුන්ට ප්‍රහාර දීම් මෙන්ම ජනමාධ්‍ය ආයතනවලට එරෙහි ප්‍රහාර, ගිනිතැබීම්, තර්ජන මෙන්ම බලහත්කාරි බලපෑම් යනාදි සකලවිධ අපරාධ පරීක්ෂා කෙරෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලෙස වත්මන් ආණ්ඩුවට පාර්ශවයන් ගණනාවක් විසින් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. නමුත් ප්‍රසිද්ධිය පතා කොමිෂන් සභා පත්කිරීමට ඉතාමත්ම උනන්දුවන වත්මන් ආණ්ඩුව පවා මේ කොමිෂන් සභාව පත්කිරීමට කරදර නොවේ. ‘පොලිටිකල් විල්‘ හෙවත් ‘දේශපාලන කැමැත්ත‘ සෑම කල්හිම උපායකි. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මාධ්‍යෙව්දීන් මරාදැමීම, අතුරුදන් වීම සහ හිරිහැර කිරීම සාධනීය අන්දමින් නතර වී ඇතත්, සිදුවූ අපරාධ, තවමත් කළ අයෙක් නැත. යුක්තිය ඉටුවීමේ පළමු පියවර වශයෙන්, සැබවින්ම සිදුවූ දේ සොයාගැනීමට පවා බලධාරීන් තවම මැලි වන්නේ ඇයි? මර්දනය මැදින් යහපත් පාලන වෙනසක් සඳහා නිදහස් මාධ්‍යවේදීන් සහ විවිධ මාධ්‍ය සංවිධාන සිදුකළ මැදිහත් වීම ලඝුකොට තැකිය හැකිද?

චූදිතයන් හඳුනාගැනීම සහ නඩු පැවරීම යුක්තිය ඉෂ්ට කිරීමේ මූලාරම්භක කාර්යයන් ය. අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීම යනු එම ක්‍රියාදාමයේ අවසන් පුරුකයි. යුක්තිය ඉටුවනවා පමණක් නොව යුක්තිය ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතුය යන්න ලොව පිළිගත් නීති පරමාදර්ශයකි. ඊයේ පැවති විරෝධතාවයට සන්ධ්‍යා එක්නැලිගොඩ, ප්‍රගීත්ගේ බිරිඳ ද පැමිණ සිටියාය. ඊයේ විරෝධතාවයට සහභාගි වූවාය. ඇය බසයෙන් පැමිණ, ප්‍රගීත් වෙනුවෙන් සටන් වැද, බත්පැටක් උයා දරුවන් පෝෂණය කරන තනි ගැහැනියකි. මේ විරෝධතාවය අතරවාරයේ ඇය සිටියේ විටෙක ප්‍රගීත් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින පුවරුව නළල මත තබාගෙන ය. තවත් විටෙක හිස මත තබාගෙන ය. පසුගියදා ඇය කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති යාදින්නේදී බෙදා දුන් කොළය ද බෙදනු මේ අතර දැකිය හැකි විය. ‘‘වැහි නැති හෙණ ඇද වැටියන් - නිරන්තරේ බය දැනියන් - අහස පළා අකුණු වැදී-මිනිමරුවා මැරී වැටියන්‘ යැයි එයින් එකක සටහන් වේ. වෘත්තීය මාධ්‍යවේදීන් හෝ නිදහස් මාධ්‍යවේදීන් ලකුණක්වත් නොතබා අතුරුදහන් වූ රටක, සියලු පරිශ්‍රමයන් අවසානයේ වින්දිතයන්ගේ පවුල් හෙවත් අහිමිවීම්වලින් විඳවන සමීපතමයන් යුක්තිය ඉල්ලා සිටිය යුත්තේ යාදිනි තබමින්ද? ලංකාවේ මාධ්‍යවේදියෙකුගේ බිරිඳක් අවසානයේ එවැනි තැනකට තල්ලු වන්නේ ඇයි? අප එය විමසූ විට ඇය එයට කදිම පිළිතුරක් දුන්නාය. ‘‘අවිද්‍යාව රජයන රටකට විද්‍යාවෙන් වැඩක් නෑ!“

සටහන - අමාලි ජයවීර |  ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment