අද දිනයේ මේ තත්වය හැකි පමණින් සමනය කර ගැනීම සඳහා ට්‍රම්ප්ගේ ආණ්ඩුව විශාල වෙහෙසක් ගත්තේය. දැනට ඔවුන් විසින් රාජ්‍ය කටයුතු සඳහා කෙටි කාලීනව මූල්‍ය ලබාදෙන පනත් කෙටුම්පතක් සම්මත කරගෙන තිබේ. මේ අතර ට්‍රම්ප්, නිව්යෝක් හි චක් ෂූමර් වැනි ප්‍රබල ඩිමොක්රටික් සභිකයන්ට ධවල මන්දිරයට ඇරයුම් කරමින් ඔවුන් අතර එකඟතාවයක් ඇති කර ගැනීමට වෙහෙසෙමින් සිටියේය.
ට්‍රම්ප්ගේ ආණ්ඩුව මුහුණ දී ඇති මෙම විසම්මුතික අර්බුදයට හේතුව ට්‍රම්ප්ගේම චර්යාවන්ගේ සහ කටකියවිල්ල මිස අන් දෙයක් නොවේ. ආණ්ඩුව අක්‍රිය වීමේ අවදානම ඇති වීමට බලපා ඇති ප්‍රධානතම අර්බුදයන් ද්විත්වය වන්නේ සංක්‍රමණික නීති සහ දේශසීමා ආරක්ෂාව පිළිබඳ පවතින මතභේදයන් ය. මේ ක්ෂේත්‍ර දෙකෙහි නීති සම්න්ධයෙන් කොංග්‍රසයේ රිපබ්ලිකන් සභිකයන්ට සහ ඩිමොක්රටික් සභිකයන්ට එකඟතාවයකට පැමිණෙන්නට නොහැකි වුවහොත් ඇමරිකානු වේලාවෙන් සෙනසුරාදා අළුයම 12.01 සිට අපට දැකගන්නට සිදුවන්නේ අක්‍රිය වූ ඇමරිකානු ආණ්ඩුවකි!
මිලියන ගණනක් ඇමරිකානුවන් වැටුප් රහිතව නිවාඩු යැවිය හැකිය.
ඉතා කෙටියෙන් සරලව පැහැදිලි කරන්නේ නම් මෙම අක්‍රිය වීම සිදුවන්නේ මෙසේ ය. ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුව සිය වියදම්වලින් වැඩි කොටස පියවා ගන්නේ කොංග්‍රසය විසින් තීරණය කරන වාර්ෂික අයවැය හෙවත් බජට් එක හරහා ය. එම බජට්එක ඇමරිකානු වේලාවෙන් සිකුරාදා මධ්‍යම රාත්‍රියට පෙර කොංග්‍රසය විසින් අනුමත කළ යුතුය. එම දිනයේ එම වේලාවට පෙර කොංග්‍රසයට මේ සම්බන්ධයෙන් තනි මතයකට පැමිණෙන්නට නොහැකි වුවහොත් ෆෙඩරල් ආණ්ඩුවේ සේවකයන් වන මිලියන ගණනක් වන ඇමරිකානුවන්ට සිය මාසික වේතන අහිමි වෙයි. නීතිය අනුව, මෙම ෆෙඩරල් සේවකයන්ගෙන් බහුතරයක් වැටුප් රහිතව නිවාඩු යැවිය හැකිය.
ගුවන්තොටුපොළ, පාසල්, රෝහල්, උද්‍යාන, පුස්තකාල සහ බන්ධනාගාර හැරුණු විට ෆෙඩරල් ආණ්ඩුවේ පාලනය යටතේ තිබෙන දෙපාර්තමේන්තු සහ ඒජන්සි ඇතුළු සෙසු සියලු ආයතන මෙවිට යම්තාක් දුරකට හෝ අකර්මණ්‍ය වීම සිදුවනු ඇත. ඒවායින් කොටස බැගින් හෝ වසා දැමීමට සිදුවනු ඇත.
කොංග්රස් අනුමැතිය හරහා ෆෙඩරල් ආණ්ඩුවෙන් වැටුප් නොලබන ඇතැම් සේවකයන් ට පමණක් මේ ප්රශ්නය බලපාන්නේ නැත. උදාහරණයක් වශයෙන් ඇමරිකානු තැපැල් සේවාව ගනිමු. එම සේවාවට අන්තර්ග්‍රහණය කර සිටින ලක්ෂ 5 ක් වන තැපැල් සේවකයන් නඩත්තු වන්නේ කොංග්රස් අයවැයකින් නොවේ. තැපැල් මුද්දර ආදායම සහ තැපැල් භාණ්ඩවලින් ලැබෙන ආදායමෙනි. එවිට ඔවුන්ට මෙම ගැටළුව බලපාන්නේ නැත.
මේ අතර කොංග්රස් අනුමැතිය ලද අයවැයෙන් වැටුප් ලබන සේවකයන් ද නැවත කොටස් දෙකකට බෙදේ. එනම්, බැහැර කරන ලද ( Excepted) සේවකයන් සහ බැහැර නොකරන ලද (non- Excepted) සේවකයන් වශයෙනි. බැහැර කරන ලද සේවකයන් යනු මිනිස් ජීවිත හා දේපළවල ආරක්ෂාව සම්බන්ධව ක්‍රියා කරන්නන් සහ තමන්ගේ රැකියා ඒජන්සිවලින් අත්‍යාවශ්‍ය යැයි නියම කරන ලද රැකියාවල නිරත වන්නන් ය. මෙම සේවකයන් ආණ්ඩුව අක්‍රිය වීමකදී සේවයට වාර්තා කළ යුතුය. නමුත් ඒ සඳහා ඔවුන්ට ගෙවීම් කරන්නේ කොංග්‍රසය විසින් අයවැය සම්මත කරගැනීමෙන් පසුව ය. එය සම්මත කර ගන්නා දිනක් වන තෙක් ඔවුන් වැටුප් හෝ ගෙවීම් රහිතව සේවය කළ යුතු ය.
‘අවම ක්‍රියාකාරකම්‘
ආණ්ඩුව අක්‍රිය වීමක් සිදුවුවහොත් ඉහත කී කාණ්ඩයට අයත් නොවන සේවකයන් වැටුප් රහිතව සේවය කළ යුතුය. එහිදී අපේක්ෂා කරන්නේ ‘අවම ක්‍රියාකාරකම්‘ ප්‍රමාණයක් සිදුකරමින් ආයතනය පවත්වාගෙන යාමයි. සාමාන්‍යෙයන් මෙවිට ඔවුන් අක්‍රිය වීම ආරම්භ වූ පළමු දිනයේ වරුවක් සේවය කර, ඉන්පසු නිවාඩු යා යුතුය. ස්වෙච්ඡා පදනම මත පවා සේවයේ යෙදීමට ඔවුන්ට ඇමරිකානු නීතියෙන් අවසර නැත. මෙය සමාන වන්නේ අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ය.
2013 වසරේ මේ තත්වය උදා වූ විට ෆෙඩරල් සේවකයන් ලක්ෂ 21 අතරින් ලක්ෂ 8කට අනිවාර්ය නිවාඩු යන්නට සිදුවිය. බුද්ධි අංශ ඇතුළු විධායක ශාඛාවේ රැකියා කළවුන් ද මේ ගණයට අයත් විණි. පුරා සති දෙකක් මෙසේ ආණ්ඩුව අක්‍රිය වී පැවති අතර, ඒ කාලය තුළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අයවැය සම්මත කර ගැනීමට සමත් වීම නිසා මේ සේවකයන්ගෙන් භාගයක් පමණ නැවත සේවයට කැඳවීම ද සිදුවිය.
හිඟ වැටුප් ගෙවීම අවිනිශ්චිතයි!
අනිවාර්ය නිවාඩු ලබාදීම නිසා සේවයට වාර්තා නොකරන සේවකයන්ට පසුව වැටුප් ලබාදෙන්නේ ද යන්න තනිකරම කොංග්‍රසය සහ ධවල මන්දිරය අත ඇති තීරණයකි. සාමාන්‍යෙයන් මීට පෙර, එනම් 2013 වර්ෂයේදී සිදුවූයේ ඔවුන්ට සරිලන වැටුපක් ගෙවීමයි. නමුත් මේ වාරයේ, ඔබාමාගේ පාලන සමයේ මෙන් නොව, ට්‍රම්ප්ලා කිනම් තීරණක් ගනීවිදැයි කලින් කිව නොහැක. ට්‍රම්ප්, හිතුමතයට වැඩකරන දරදඬු පාලකයෙක් වන නිසා ය.
මුල් සතියේ - කුසගින්නේ!
මෙසේ අනිවාර්ය නිවාඩු යැවූ රජයේ සේවකයන්ට ඒ අතරවාරයේ කළ හැක්කේ මොනවාද? මාස ගණනක් තත්වය දික්ගැස්සුණහොත් ඔවුන් දිවි සරි කර ගන්නේ කෙසේද? මෙවිට තිබෙනුයේ සීමිත විකල්ප ප්රමාණයකි. එක් පැත්තකින්, රජයේ සේවයේ ආචාර ධර්ම රෙගුලාසිවලට අනුව, බාහිර ආදායම් ලැබීම ඔවුන්ට තහනම් කර ඇත්නම් ඔවුන්ට මේ කාලසීමාව තුළ වෙනත් රැකියා කළ නොහැකි ය. එවැනි තහනමක් නැතිනම් වෙනත් තාවකාලික රැකියා කළ හැකිය. මේ දෙපිරිසටම විරැකියාවෙන් පෙළෙන්නන් සඳහා රජය ලබාදෙන සුබසාධන වැඩපිළිවෙළට අයදුම් කළ හැකිය. නමුත් සාමාන්‍යෙයන් අක්‍රිය වීම සිදුවී සතියක පමණ කාලයක් යන තෙක් ඒවායින් ගෙවීම් කෙරෙන්නේ නැත. මේ තත්වය අනුව, ෆෙඩරල් ආණ්ඩු සේවකයා හෙවත්, සරල බසින් කියනවා නම් ඇමරිකාවේ රජයේ සේවකයා මෙවිට මුල් සතිය තුළ හව්හරණක් නැති තත්වයට පත් වේ.
තවද ඔවුන් රැකියා නැතිව නිවසේ රැඳී සිටි කාලය සඳහා, අයවැය සම්මත වීමෙන් පසු මුදල් ගෙවයි නම්, එකී කාලය තුළ ඔවුන් ලබාගත් සුබසාධන ජීවන දීමනාව නැවත රජයට ගෙවිය යුතු වේ.
ට්‍රම්ප්ට සුපුරුදු වැටුප අඩු නැතිව ලැබේ...!
මෙසේ රජයේ සේවකයාට පඩි නැතිව ගෙදර සිටින්නට සිදුවුවත්, ට්‍රම්ප්ට ලැබෙන ජනාධිපති වැටුපේ නම් කිසිදු අඩුවීමක් සිදුවන්නෙ නැත. ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවේ 1 වන වගන්තියෙන් කියැවෙන්නේ මෙවැනි තත්වයකදී ජනපති ධුරයේ සිටින තැනැත්තා හෝ තැනැත්තියගේ වැටුප් අඩුකිරීම තහනම් බවයි.
මන්ත්‍රී වැටුපත් එලෙසම...
කොංග්රස් සභිකයන් ට හෙවත් කොංග්රස් මන්ත්‍රීවරුන්ට ද එය එසේම ය. ඔවුන්ගේ කිසිදු වැටුපක් හෝ දීමනාවක් මේ අර්බුදය නිසා කප්පාදු වන්නේ නැත.
මෙවිට එම මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවල ඉරණම කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාජකාරි කරන සේවකයන් හා ජීවිත, දේපළ ආරක්ෂා කිරීමේ රාජකාරියේ නියුතු සේවකයන් පමණක් මෙහිදී සුපුරුදු පරිදි වැටුප් ලැබීමට සුදුසුකම් ලබති. සෙස්සන්, පෙර විස්තර කළ ආකාරයට පඩි රහිතව නිවාඩු යා යුතුය.
සෘජු ආරක්ෂක ක්‍රියාකාරකම්වල නියැළෙන හමුදා සාමාජිකයන් ද මෙම අක්‍රිය කාලසීමාව තුළ සුපුරුදු පරිදි වැටුප් ලබති.
රුසියානු විමර්ශනය දිගටම...
මේ කුමන අක්‍රිය වීම සිදුවුණත් ඒ කාලය තුළ ද ට්‍රම්ප් ට එරෙහිව සිදුකෙරන රුසියානු විමර්ශනය හෙවත් මුලර් කොමිසමේ වැඩකටයුතු දිගටම සිදුකෙරෙනු ඇත. ඒ, ඔවුන් ගෙවීම් ලබන්නේ කොංග්රස් අයවැය හරහා නොව ස්ථිර අරමුදලක් හරහා බැවිනි. එම කාර්යාලයේ සේවකයන්ට ද මෙම අක්‍රියවීම බලපාන්නේ නැත.
කිසිදු දේශපාලන පක්ෂයකට ගැති කම් නොකරන ස්වාධීන ඇමරිකානුවන් බහුතර මේ අස්ථාවරභාවය සහ අවදානම සම්බන්ධයෙන් දොස් පවරන්නේ ට්‍රම්ප්ට සහ ඔහු නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට බව ඒබීසි පුවත්සේවය සිය නවතම ජන මත විමසුමෙන් අනාවරණය කරයි.
දෙවන වරටත් දෝෂාභියෝගයක්
මේ අතර වාර්තා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ව දෙවන වතාවටත් දෝෂාභියෝගයකට ලක් කිරීමේ වෑයම අසාර්ථක වූ බවයි. ටෙක්සාස් ජනපදයේ ඩිමොක්රටික් කොංග්රස් සභික අල් ග්‍රීන්, ට්‍රම්ප් විසින් පසුගිය සතියේ අප්‍රිකානු රටවල් ‘ෂිට් හෝල් කන්ට්‍රීස්‘ හෙවත් ‘ගුද මාර්ගයේ රටවල්‘ යනුවෙන් පවසමින් සිදුකළ වෛරී ප්‍රකාශ සහ අපහාසාත්මක මත ප්‍රකාශයන් හේතුවෙන් ඔහු ව ධුරය දැරීමට නුසුදුසු පුද්ගලයෙකු ලෙස නම් කරමින් දෝෂාභියෝගයක් ගෙන ඒමේ උත්සාහයක නිරත වූ අතර, අවසානයේ ඔහු ව නවත්වා ගත හැකි වූයේ ඔහුව අවහිර කිරීමේ යෝජනාවක් සභා සම්මත කර ගැනීමෙනි. මෙම දෝෂාභියෝග රෙගුලාසිය සභාගත කිරීමේ යෝජනාව 355-66 ක් වශයෙන් අවසානයේ පරාජයට පත්විය. ඩිමොක්රටික් ප්‍රගතිගාමීන් මෙසේ සැමදා නිහඬ කළ හැකිද..? අල් ග්‍රීන්, ට්‍රම්ප් අනිවාර්යයෙන්ම දෝෂාභියෝගයකට ලක් කළ යුතු බව තරයේ කියා සිටියි. පසුගිය මාසයේ ඒ සඳහා උත්සාහ ගත්තේ ද මෙම ටෙක්සාස් ජනපද ජනතා නියෝජිතයා ය.
මෙවර යෝජනාවට ඩිමොක්රටික් අපේක්ෂකයන්ගේ ද බහුතර සහයෝගය හිමි නොවුණේ එක් වැදගත් තර්කයක් පදනම් කරගෙන ය. එනම්, ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ රුසියානු අතපෙවීම ගැන සොයන මුලර් කොමිසම, සිය විමර්ශන අවසන් කරන තෙක් කල් බැලිය යුතු බව ඔවුන්ගේ නිගමනය වී තිබේ.
මේ සියලු කරුණු වලින් පෙනී යන්නේ ට්‍රම්ප්, ධුර කාලයෙන් වසරක් සපිරෙන තැන, ඉතිහාසයේ අන් කිසිදු පාලකයෙකුට සිදුනොවූ ලෙසින් තම අසාර්ථක භාවය නැවත නැවතත් සනාථ කරමින් සිටින බවයි.
ට්‍රම්ප්ට දැන් එක් පසෙකින් ආණ්ඩුව අක්‍රිය වීමේ අවදානම තිබේ. අනෙක් පසින් ඔහුගේ වෛද්‍ය පරීක්ෂාව අනුව ඔහු ධුරය දැරීමට සුදුසු මානසික තත්වයක සිටියිද යන අභියෝගය තිබේ. කොංග්‍රසය විසින් ගෙන එන්නට කැස කවන දෝෂාභියෝගය ද ඔහු අබියසම ය. මේ අනුව මේ මොහොතේ ට්‍රම්ප් සමාන වන්නේ ලංකාවේ පුරාණ ජන කවියකින් කියැවෙන ‘මරණ තුනක් අතැතිව පැණි කෑ මිනිසා‘ට ය. ඒ ජන කවියට අනුව වනයේ ඇතා ය. ළිඳ තුළ සර්පයෙකි. එක් අතක කටු වැලකි. එය ඇනී ලේ ගලයි. නමුත් මේ මරණ තුනම පෙනි පෙනී, මිනිසා අනෙක් අතේ ඇති දඬුබෑයෙන් වෑහෙන මීපැණි රස බලයි.
හිමේ ගිජිඳා ය දුටුවොත් වනසා ය
ළිඳේ පණිදා ය දුටුවොත් ඌ කා ය
අතකින් කරවැලකි අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ ය!!!
සිකුරාදා මධ්‍යම රාත්‍රියේ 12.01 සිට ආණ්ඩුව අක්‍රිය වුණත් නැතත්, තමන් නියත වශයෙන්ම ගොල්ෆ් ක්‍රීඩා කරන්නට යන බව ට්‍රම්ප් පවසා තිබෙන්නේ එනිසා ය!
-ක්‍රිෂාන්ති රාජපක්ෂ
0 comments :
Post a Comment