බැඳුම්කර පිපිරීම
මේ ආකාරයට පොදු සමාජයේ එක් එක් ස්ථරයන් තුළ විවිධාකාරයෙන් අවධානයට ලක්වූ බැදුම්කර කොමිෂන් සභාවේ වාර්තාව වියහැකි පරිදිම දේශපාලන වේදිකාවේ පිපිරීම් ගණනාවකට මුල පිරීය. අවලාද, චෝදනා හා ඊට අදාළ ප‍්‍රතිප‍්‍රහාර ගණනාවක් ඒ තුළ මතුවූ අතර මින්පෙර කිසිදු යුගයක දක්නට නොලැබුණු ආකාරයේ ප‍්‍රවණතාවයක් නිර්මාණය කරමින් ආණ්ඩු පක්ෂයට අයත් දේශපාලනඥයින් කිහිපදෙනෙක් රටේ ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා හා අවලාද නගන පරිසරයක් දක්වා එම තත්වය වර්ධනය වූ බව මේවනවිට කිසිවෙකුට රහසක් නොවේ.
ඒ කෙසේවෙතත් බැඳුම්කර වාර්තාව දැනුවත් සමාජය තුළ මතුකළ කළ වාද විවාද පරයමින් අවසානයේ කැබිනට් මණ්ඩලය ද උණුසුම් කර තිබේ. පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප‍්‍රකාශය මුළුමහත් රටේම අවදානයට ලක්වූ දැවැන්ත පුවතක් නිර්මාණය කළේය. එදින රටේ සියලූ විද්‍යුත් මාධ්‍ය පරයමින් පසුවදා බොහෝ පුවත්පත් හි සිරස්තළ මැවුණේ එකී කරුණ අනුසාරයෙනි. ඒ පිළිබඳව සිදුකළ සමස්ත වාර්තාකරණයෙහි පොදු හරය වූයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල සාමාජිකයන් හමුවේ බරපතළ විවේචනයක් සිදුකළ බවය. එමෙන්ම එම කරුණ පදනම් කරගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුව සිදුකළ ප‍්‍රකාශ තුළ දැකගත හැකි කරුණු කාරණා අනුව ද ඒ බව පසක් කෙරිණි.
ජනපතිට ගල් පෙරලීම
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිදුකළේ යැයි කියන එම විවේචන කැබිනට් මණ්ඩල සාමාජිකයන් බාරගත යුතුව ඇත්තේ කෙසේද? එමෙන්ම එක්, එක් දේශපාලන පක්ෂ එම කාරණය කෙබඳු ආකාරයකින් බාරගත යුතුද? ඒ සමගම මේ රටේ පුරවැසි සමාජය එය තේරුම්ගත යුතු වන්නේ කුමන අයුරින් ද? මේ රටේ දැනුවත් සමාජය මෙම සිදුවීම් පිළිබඳව අවධානය යොමුකරනු ඇත්තේ කෙසේද? සමස්තයක් වශයෙන් ගත්කල්හි අද වනවිට බොහෝ දෙනෙකු තුළ ඇත්තේ එබඳු ප‍්‍රශ්නාවලියකි.
එහිදී අප ප‍්‍රථමයෙන්ම අවධානය යොමු කළයුතුව ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප‍්‍රකාශ කර ඇතැයි කියන කරුණු පිළිබඳව ය. මේ රටේ මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ ආණ්ඩුව කරනවාද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගන්නා ලෙසයි. එමෙන්ම බොහෝ ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ජනාධිපතිවරයා එවැන්නක් අවධාරණය කරන්නට හේතු වී ඇත්තේ එජාප මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙක් සිදුකර ඇති ප‍්‍රකාශයන් ය.
සත්‍යවශයෙන්ම මේ රටේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් පසුගිය දා සිදුකර ඇති ප‍්‍රකාශ සැලකීමේදී මතුවන ප‍්‍රශ්නයක් තිබේ. එනම් සිදුව ඇති බවට නිගමනය වී ඇති බැඳුම්කර වංචාවට අදාළව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අනුගමනය කර ඇති ක‍්‍රියාමාර්ග තුළ රටට යහපතක් වී ද නැද්ද යන කාරණයයි. එමගින් රටට යහපතක් වී නැතැයි යමෙක් කල්පනා කරන්නේ නම් අන්සියල්ලටම පෙර ඒ බව ඉතා පැහැදිළි ලෙස රට හමුවේ ප‍්‍රකාශ කළයුතුව තිබේ. එසේ නොමැතිව එමගින් රටට යහපතක් වී ඇතැයි කල්පනා කළ ද ඒ මගින් තමන් නියෝජනය කරන කණ්ඩායමට හෝ එකී කණ්ඩායමේ කිහිපදෙනෙකුට අහිතකර තත්වයක් නිර්මාණය වී ඇතැයි කල්පනා කිරීම තුළ රටේ ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් කිසිවෙකු හෝ අවලාද නගන්නේ නම් රටේ රාජ්‍ය නායකයා පමණක් නොව, දූෂණයෙන් තොර රටක් පිළිබඳව යම් හෝ අපේක්ෂාවක් ඇති කිසිවෙකු එහිදී නිහඬව සිටිය යුතු නැත.
කියූ දේ කුමක්ද?
ඒ අනුව දැන් අප සලකා බැලියයුතු වන්නේ ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කරන ලද කරුණු කාරණා මොනවාද යන්නය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලය තුළ ද පුනපුනා ප‍්‍රකාශ කර ඇති ප‍්‍රකට කරුණක් තිබේ. එනම් තම දේශපාලන ජීවිතය තුළ අඛණ්ඩව ගෙන ගිය සටනක් වී ඇත්නම් එය දූෂණයට එරෙහිව ඔහුගේ පෙනී සිටීම වන බවය. බොහෝ දෙනෙක් දන්නා ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ඉවත් වී මේ රටේ බහුතර මතය සමග ඔහු එක්වන්නේ ද එහි ප‍්‍රතිඵලයක් ලෙසටය.
ඒ සමගම අප ඉතා හොඳින් තේරුම්ගත යුතු කරුණක් ද තිබේ. එනම් රටක නායකයන්ට අදාළව සැලකීමේදී බහුතරයක් වූ ජනතාව සෑම නායකයෙකුටම අදාළව අපේක්ෂා කරන සුවිශේෂි කාර්යභාරයන් පවතින බවය. ශ‍්‍රී ලංකාවට ද එය අදාළය.
නායකත්ව අපේක්ෂා
නිදහස් ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය ඞී.එස්.සේනානායක මහතාගෙන් එකල සමාජය අපේක්ෂා කළ ප‍්‍රධාන කරුණු දෙකක් විය. ඉන් පළමුවැන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වූ රටක් නිර්මාණය කරගැනීම සඳහා නායකත්වය ලබාදීමය. දෙවැන්න මේ රට කෘෂිකාර්මික වශයෙන් සංවර්ධනය කරලීම සඳහා පුරෝගාමී නායකත්වයක් ලබාදීමය. පසුකාලීනව එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගෙන් මේ රටේ ජනතාව අපේක්ෂා කළේ එම කාර්යය නොවේ. නිදහස් ලංකාවේ සැබෑ උරුමකරුවන් රටේ පාලන තන්ත‍්‍රයට බද්ධ කරලීම එහි ප‍්‍රථම අපේක්ෂාව වූ අතර රටේ ආරක්ෂාව ද ඇතුළු ආර්ථිකයට අදාළ මර්මස්ථාන අධිරාජ්‍යවාදී බැම්මෙන් මුදාගැනීම ද ඒ තුළ අපේක්ෂා කළේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් එහි දුර දිගුවක් අපේක්ෂා කළ අතරම ඇයට අදාළව මේ රටේ ජනතාව වඩාත්ම අපේක්ෂා සහගත වී ඇත්තේ ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගා ගැනීමට අදාළව ය. ඇයගේ ප‍්‍රමුඛතම ප‍්‍රතිවාදියා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් මේ රටේ ජනතාව අපේක්ෂා කළේ ඊට බොහෝ වෙනස් ඉලක්කයකි. එනම් නූතන ආර්ථික ප‍්‍රවණතාවයන්ට අනුගතව ගොඩනැගෙන නව ලෝක රටාවට ශ‍්‍රී ලංකාව ද යා කිරීමේ වගකීමයි. නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන වරප‍්‍රසාදයන්ට උරුමකම් කීමට නොහැකිව ලත වෙමින් සිටි ග‍්‍රාමීය දුප්පත් ජනතාව ද ඇතුළු මේ රටේ අව වරප‍්‍රසාදිත ජනතාව ආර්.ප්‍රේමදාස මහතාගෙන් අපේක්ෂා කළේ ඊට සපුරාම වෙනස් වූ වගකීමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් ජාතීන් අතර සමගි සම්මුතියක් ඇති කරගැනීම සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට වරම් දුන් ශ‍්‍රී ලාංකීය ජනතාව මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපේක්ෂා කළේ එකම එක දෙයකි. එනම් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමය.
මෛත‍්‍රී වගකීම
ත‍්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙත ඒ සඳහා ගරුත්වය ලබාදීමට මේ රටේ ජනතාව සූදානම් වුවද ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුලා දමමින් සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයම තම පවුලේ ඒකාධිකාරිය යටතට ගෙන එක්තරා කණ්ඩායමකට රිසි පරිදි රටේ සියලූ තීන්දු තීරණ ගැනීමට ඉඩකඩ ලබාදීමට මේ රටේ ජනතාව කිසිසේත්ම සූදානම් නොවීය. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ගොඩනගාගෙන පැවති බල ව්‍යුහය තුළ දූෂණයෙන් හා දූෂිතයන්ගෙන් සැදුම්ලත් සමස්ත දේශපාලන වපසරිය ඉන් ගලවා ගැනීමේ වගකීම පවරන ලද්දේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙතය. ඒ අනුව මේ රටේ ජනතාව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් අපේක්ෂා කරන ලද ප‍්‍රමුඛතම කාරණය වූයේ දූෂණයෙන් තොර බියෙන් හා සැකයෙන් මිදුණ නිදහසේ අදහස් පළකළ හැකි ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගැනීමය. ඒ තුළ දූෂිතයන්ට එරෙහිව උපරිම ලෙස කටයුතු කළහැකි පරිසරයක් නිර්මාණය කිරීමය. ඒ අනුව අද මේ රටේ රාජ්‍ය නායකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඇත්තේ කිසිසේත්ම අත්හළ නොහැකි සමාජ වගකීමකි.
ශ‍්‍රීලනිපය භාරගැනීම
එහිදී විශේෂයෙන්ම මේ රටේ දේශපාලන පක්ෂ අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණයක් තිබේ. එනම් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අද වනවිට මේ රටේ බලවත්ම දේශපාලන පක්ෂයකට නායකත්වය ලබාදෙන බවය. පොදු අපේක්ෂකයා ලෙස ඔහු මේ රටේ හයවන විධායක ජනාධිපතිවරයා ලෙස තෝරාපත්කරගනු ලැබූව ද ඔහු සමග එක්සත් ජාතික පක්ෂය ද ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් ඒ සඳහා පෙළගැසීම තුළ ඒ බලවත් දේශපාලන ව්‍යාපාරයක ශක්තියෙන් වියුක්ත, රාජ්‍ය නායකත්වයකට උරුමවිය හැකි ඉරණම සලකා බැලීම තුළ ද රාජ්‍ය නායකත්වයට පත්වීමත් සමග ඊට සුදුසුම අවස්ථාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් භාර නොගත්තේ නම් ඇතිවිය හැකිව තිබූ තත්වය ද ඒ සියලූ දෙනා ගැඹුරින් කල්පනා කළයුතුය. එවැනි පරිසරයකට ඉඩක් විවර කළේ නම් නියතවශයෙන්ම සිදුවනු ඇත්තේ මේ රටේ අතිමහත් බහුතර ජනතාව විසින් පරාජයට පත්කරන ලද පොදු සතුරා නැගී සිටීම පමණක්ම නොවේ. මේ රටේ වැඩිම මහජන බලයක් සහිත ප‍්‍රධානතම දේශපාලන ප‍්‍රවාහයක් ලෙස සැලකිය හැකි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් දූෂිතයන් ආධිපත්‍යය දරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් කෙරෙහි විශ්වාසය නොතබන පිරිසකගේ ග‍්‍රහණයට නතුවීමය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දීමට තීරණය කිරීම තුළ ඇති යථාර්ථය ඔහුගේ ප‍්‍රතිවාදීන් තේරුම්ගත යුත්තේ ඉහත සඳහන් කරුණු පිළිබඳව සැලකිල්ලට ගනිමිනි.
එවන් පසුබිමක මේ රටේ ඉහවහා ගොස් පැවති දූෂණයට එරෙහිව රාජ්‍ය නායකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් ක‍්‍රියාමාර්ග පිළිබඳ කිසිවෙකු පුදුම වියයුතු නැත. එය තම කඳවුරට හෝ තම සගයන්ට එරෙහිව ගනු ලැබූ ක‍්‍රියාමාර්ගයන් ලෙස ලඝු කළයුතු ද නැත. එමෙන්ම මහබැංකු බැඳුම්කර ගනුදෙනු වලට අදාළව හා පසුගිය කාලයේ රාජ්‍ය ආයතන ගණනාවක සිදුව ඇති වංචා හා දූෂණ පිළිබඳව විමර්ශනය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභා දෙකක් පත්කරන ලද්දේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් නොවන බව ද අවබෝධ කරගත යුතුය.
සද්භාවය
විශේෂයෙන්ම හිටපු මහ බැංකු අධිපතිවරයාට එම තනතුර ලබාදීමට යෝජනා කළ අවස්ථාවේදී මෙන්ම රවී කරුණානායක මහතාට මුදල් අමාත්‍යධුරය හැර වෙනත් අමාත්‍යධුරයක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා සෘජුවම අදහස් දක්වා තිබීම තුළ ඒ බව තේරුම්ගත හැකිය.
ඒ අනුව රටට හා රටේ අනාගතයට අදාළව සද්භාවයෙන් යුතුව ගෙන ඇති තීරණයක ප‍්‍රතිඵල මේ රටේ සියලූ පාර්ශව භාරගත යුතුව ඇත්තේ රට පිළිබඳව වන හැඟීම මුල් කරගනිමින් මිසක පක්ෂ, කණ්ඩායම් හෝ පුද්ගලයන් මූලික කරගත් හැඟීමකින් නොවේ. ඒ සමගම ඒ සියලූ දෙනා අවධානය යොමුකළ යුතු තවත් එක් වැදගත් කරුණක් තිබේ. එනම් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් දූෂණයට එරෙහිව ගෙන ඇති පියවරයන් අතර ඇති එකම පියවර බැදුම්කර කොමිෂන් සභාව පත්කිරීම නොවන බවය. මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදුවී ඇති දූෂණ හා අක‍්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පත්කර ඇති බව එහිදි සැලකිය යුතුය. බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය හා අධිකාරිය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම තමන්වෙත ලැබුණු පැමිණිලි හා තොරතුරු පදනම් කරගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ පුළුල් විමර්ශනයක් සිදුකරන ලද අතර එහි අවසන් වාර්තාව පසුගිය දෙවන දා ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.
වාර්තා වන අන්දමට එම වාර්තාව පිටු 1135 කින් සමන්විතය. අංශ 34ක ට අදාළව පසුගිය පාලන සමයේදී සිදුව ඇතැයි කියන වංචා, දූෂණ හා අක‍්‍රමිකතාවයන්ට අදාළ වැදගත් හා තීරණාත්මක නිගමන රැසක් ඒ තුළ අන්තර්ගත වන බව දැනගන්නට තිබේ. එහෙත් අවාසනාවකට ඒ පිළිබඳව රට තුළ ප‍්‍රමාණවත් අවධානයක් යොමුවී ඇති ආකාරයක් නොපෙනේ. එහෙත් එය කිසිසේත්ම වියයුතු තත්වයක් නොවේ. බැඳුම්කර කොමිෂන් සභාවේ නිර්දේශ තරමටම ඊට නොදෙවනි ආකාරයට ඒ කෙරෙහි ද අවධානයක් යොමුකළ යුතුය. එසේ අවධානය යොමුකිරීම තුළ දූෂණයට එරෙහිව ගෙන යන සංග‍්‍රාමයේ ඉලක්කය එක් නිශ්චිත පක්ෂයක්, කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් නොවන බව තේරුම්ගැනීමට හැකියාව ලැබෙන අතර දූෂණයට එරෙහිව ගනු ලබන ක‍්‍රියාමාර්ගයන්හි දී කොටුකර ගත යුතුව ඇත්තේ එක් පාර්ශවයක් පමණක් නොවන බව ද පැහැදිළි වනු ඇත.
සෝභිත හිමි වදන
විශේෂයෙන්ම මේ රටේ දැනුවත් සමාජය මෙකී සමස්තය පිළිබඳ අවධානය යොමුකළයුතුව ඇත්තේ එවැනි පුළුල් පරාසයක පිහිටා සිටිමිනි. ජනවාරි 08 බලවේගය තුළ නියෝජනය වූයේ ද එවැනි පුළුල් පරමාර්ථ මත කටයුතු කරන ලද සංවිධාන හා පුද්ගලයන් ගෙන්ය. අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ඉතා නිවැරදි ලෙස පෙන්වා දුන් පරිදි අප පරාජය කළයුත්තේ එක් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් නොවේ. රට වෙළාගෙන පවත්නා දූෂණයයි. දූෂණයට පදනම් වන අධිකාරීවාදී දේශපාලන ප‍්‍රවාහයයි.
සුනිල් ජයසේකර
0 comments :
Post a Comment