කොළඹදී පැහැරගත් ළමයි 11 රණසිංහලාගේ අතින් ඉවර වුණා - විත්තියේ නීතිඥයාගෙන් CID ශානි අබේසේකරට අලුත් යෝජනාවක්... (2 කොටස)

කොළඹදී පැහැරගත් ළමයි 11 රණසිංහලාගේ අතින් ඉවර වුණා - විත්තියේ නීතිඥයාගෙන් CID ශානි අබේසේකරට අලුත් යෝජනාවක්... (2 කොටස)

දේශපාලන අධිකාරිය ජනතාව හමුවේ ක්‍රියාත්මක වීමත් ජනතාව ඊට දක්වන ප්‍රතිචාරයත් ගැන දැන් කරුණු කාරණා පෙන්නුම් කරමින් තිබේ. දැන් බලා හිදින්නේ හෙට දවසේදී රාජ්‍ය පාලනයේ සිදුවන බවට ජනාධිපතිවරයා විසින් කියා ඇති වෙනස්කම් කෙබඳු වේද යන්නයි. කුමන වෙනසක් සිදුවුවද අපට, පසුකර ගෙන ආ අඳුරු සෙවණැලි අකා මකා දැමිය නොහැකිය. ඉතිහාසය කිසි ලෙසකින්වත් මඟ හැර යා නොහැකිය. යුක්තිය යදිමින් කෑ ගසනා අතීතයෙන් පලා යා නොහැකිය. පලා යාමට ඉඩ දීමද කළ නොහැකිය. එහෙයින් මේ සංක්‍රාන්ති සමයේ නින්දෙන් නොව අවදියෙන්ම සිටිය යුතුය. අයුක්තිය වෙනුවෙන් වූ යුක්තියේ වරම දිනා ගත යුතුය. එහෙයින් අපි නැවත නැවතත් ලියන්නෙමු.

නාවික හමුදාවේ කණ්ඩායමක් විසින් 2008- 2010කාල සීමාව තුළ තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් වන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට කරුණු ගණනාවක් අනාවරණ කර ගෙන තිබේ. එම තරුණයින් ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුරු කැබ් රියකට පැටවීම කළ නාවික හමුදාවේ සේවය කළ අම්පාරේ ගාමිණී නැමැත්තා ද මේ වන විට පසුවන්නේ අත්අඩංගුවේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පස්දෙනා ඇප මත නිදහස්ව සිටියද තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය.

පැහැර ගෙන ගොස් අතුරුදහන් කළ තරුණයින් මේ වන විට ඝාතනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කර ගෙන තිබූ තාරතුරු සනාථ වන කාරණයක් 2013 දී සිදුව තිබුණි. මෙම සිද්ධිය සමබන්ධයෙන් වන නඩු විභාගය පසුගිය 08 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී කෙරුණු අතර ඉහත කාරණය පිළිබඳ එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා තිබුණි. පැහැර ගැනීමට සම්බන්ධ නාවික හමුදා නිලධාරීන්ට එරෙහිව විභාග වන එම නඩුවේ දෙවන සැකකරු වන සුමිත් රණසිංහ නැමැත්තා සමඟ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසිත් සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සහකාර පොලිස් අධිකාරී වත්මන් අධ්‍යක්ෂක ශානි අබේසේකර හමුවට පැමිණ ඇත්තේ සුමිත් රණසිංහගේ වීර ක්‍රියා පිළිබඳව පුවත්පත්වල පළවූ ලිපි ගොන්නක්ද සමඟය. එම ලිපි පෙන්වා සුමිත් රණසිංහ පිළිබඳව දීර්ඝ හැදින්වීමක් කර මෙම නඩුවෙන් ඔහුව මුදා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ඉල්ලා තිබේ. එම අවස්ථාවේ ශානි අබේසේකර මහතා සමඟ තරුණයින් අතුරුදහන් වීම පිළිබඳ විමර්ශන සිදුකරන සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ද සිට ඇත. ඔවුන් ඉදිරියේ නීතිඥ අසිත් සිරිවර්ධන සිය සේවා දායකයා පිළිබඳ ඇත්ත හෙළිකර ඔහුව බේරා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ඉල්ලා ඇත්තේ එම අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්පත් මුණසිංහලාට බැර කිරීමේ ඇති හැකියාව පෙන්වා දෙමිනි.

'සම්පත්ලා කොළඹදී පැහැරගත් ළමයි කට්ට්ටිය රණසිංහට භාර දුන්නා. රණසිංහලාගේ අතින් ඒ කට්ටිය ඉවර වුණා. මේකට වග කියන්න ඕනි සම්පත් මුණසිංහ. ඒ නිසා රණසිංහව බේරගන්න ඕනේ. මුණසිංහලාට මේ පැහැරගත් අය නැවත භාර දුන්නා කියලා අපි කියන්නම්. ඒ විදිහට මේ කේස් එක කරන්න.'

නීතිඥ අසිත් සිරිවර්ධනගේ එම ඉල්ලීම කිසිදිනෙක ඉටු නොකරන බවට ශානි අබේසේකර මහතා සුමිත් රණසිංහට හා නීතිඥවරයාට අවධාරණය කර ඒ මොහොතේම සිය සාක්කු සටහන් පොතේ සටහන් කර තිබුණි. මේ සම්බන්ධයෙන් පසුගිය 08 වැනි දින අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු අංක බී 732/09 වාර්තාව යටතේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

තරුණයින් පැහැර ගැනීමේ සිද්ධිය අනාවරණ වූයේ මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පළමු සැකකරු වන සම්පත් මුණසිංහට එරෙහිව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඔහු LTTE සැකකරුවන් සමඟ සම්බන්ධතා පවත් වූ බවට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කර තිබූ පැමිණිල්ලේ විමර්ශන අතරතුරය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය පරිදි විමර්ශන කටයුතු සිදුකර නොමැති බවත් නීත්‍යානුකූල රාමුව තුළ සිට උපදෙස් ලබා ගනිමින් විමර්ශන සිදු කර ඇති බවත් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට දන්වා තිබේ. මෙම විමර්ශනයේදී නාවික හමුදාව ඉදිරියේ දී අපකීර්තිදායක තත්ත්වයකට පත් වන බව නිරීක්ෂණය වූ බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක මගින් 2010 වර්ෂයේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කර උපදෙස්ද ලබා ගෙන තිබේ. හිටපු ආරක්ෂක ලේකම්වරයාද සැකකරුවන්ගේ ක්‍රියා කලාපය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ඉදිරියට සිදුකරන ලෙස උපදෙස් දුන් බව ද නිශාන්ත සිල්වා මහතා අධිකරණයට කරුණු දක්වා තිබේ.

එම විමර්ශනයට අදාළව දැනට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින නලින් වික්‍රමසූරියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් කර ඇත්තේ ඔවුන් විසින් පැහැරගත් පුද්ගලයන් කොළඹ පිට්ටු බම්බුව තුළ ඝාතනය කර කැලණි ගඟට දැමූ බවයි. එම තොරතුරු සනාථ කිරීමට එනම් තරුණයින් ඝාතනය කර ඇති බවට කරුණු මේ වන විටත් අනාවරණ වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ. වික්‍රමසූරිය එම කරුණු පැවසුවේ (පිට්ටු බම්බුව තුළ ඝාතනය වූ බවට) නීතිඥ අසිත් සිරිවර්ධන මහතාගේ යෝජනාව සනාථ කිරීමට ද යන්න පිළිබඳවද සැකයක් නිරීක්ෂණය වූ බවයි බී වාර්තාවේ දැක්වෙන්නේ.

මේ අතර විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනීමට සිටින එහෙත් අධිකරණය මඟ හරිමින් සිටින චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නැත්නම් නේවි සම්පත් අත්අඩංගුවට ගැනීමට වරන්තු නිකුත් වූ අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂාවෙන් තවදුරටත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඔහුගේ ඡායාරූපය පළකරනු ඇත.

මෙම විමර්ශනයට අදාළව තවත් වැදගත් කරුණක් වන්නේ විමර්ශන අතින් අත මාරු වීමේ සිද්ධියයි. 2009 ජුනි 10 වැනිදා එම විමර්ශනය භාර කර තිබුණේ විශේෂ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතාටය. ඔහුගේ අධීක්‍ෂණය යටතේ නිශාන්ත සිල්වා විසින් විමර්ශන කටයුතු සිදු කර ඇත. විමර්ශන අතරවාරයේදී එනම් 2011 වසරේදී නිශාන්ත සිල්වාව එම විමර්ශනයෙන් ඉවත් කර වෙනත් අංශයකට ස්ථාන මාරුවක් දී ඇත. 2012 වසරේදී නැවතත් නිශාන්ත සිල්වාව විශේෂ අංශයට තාවකාලිකව ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ එම විමර්ශනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව වැඩිදුර විමර්ශන සඳහාය. පසුව නැවතත් 2014 වසරේ ජුනි 03 වැනිදා සමූහ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස ස්ථාන මාරු වීමක් ලැබී ඇති අතර විමර්ශන නැවත වරක් නිශාන්ත සිල්වා අතට පත්වන්නේ 2015 වසරේදීය. මෙම කාලය තුළදී වසර දෙකහාමාරක් පමණ තරුණයින් අතුරුදන් වීම පිළිබඳ විමර්ශනයෙන් නිශාන්ත සිල්වාට ඉවත් වීමට සිදුව තිබුණි. එහෙත් එම කාලය තුළ සිද්ධියට අදාළව කිසිදු විමර්ශනයක්ද සිදු වී නැත. නැවතත් විමර්ශන සක්‍රීය වන්නේ 2015 නිශාන්ත සිල්වා අතට එකී විමර්ශනය භාර වීමෙන් අනතුරුවය.

විමර්ශනය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු දක්වමින් නිශාන්ත සිල්වා මහතා පෙන්වා දෙන්නේ විමර්ශනයට අදාළව පැමිණිලිකරු වන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට තරුණයින් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද යම් අවබෝධයක් හා දැනීමක් තිබී ඇති බවයි. ඒ බව බී වාර්තාවේ සඳහන් වන්නේ මෙපරිද්දෙනි.

ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ නිලධාරී නිවස්නයේ ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි සමඟ සිටි බව.
ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි විශේෂ රාජකාරී කටයුතු සඳහා සැකකරු දසනායකගේ අධීක්ෂණය යටතේ පත් කිරීම.
එම ඒකකය සඳහා මා විසින් අත්අඩංගුවට ගනු ලැබූ 54-9238 අංක දරන වහනය ලබා දීම.
දෙහිවලදී පුද්ගලයන් පස්දෙනෙකු පැහැරගැනීම සඳහා සැකකරු හෙට්ටිආරච්චිගේ සම්බන්ධතාවය.
අනෙකුත් පැහැරගත් සැකකරුවන් චෛත්‍ය පාරේ පිට්ටු බම්බුව තුළ හා ගන්සයිඩ් නමැති භූගත සිරමැදිරිවල රඳවා තබා ගැනීම
ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධව හා ඊට වගකිව යුතු පාර්ශ්වකරුවන් ලෙස දෙවන සැකකරු සුමිත් රණසිංහ හා ඩී.කේ.පී. දසනයක් පිළිබඳව දැනුවත්ව සිටීම

මේ අනුව තරුණයින් 11 දෙනාගේ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු රැසක් අනාවරණ ගෙන අවසන්ය. විශේෂයෙන් එම තරුණයින් මේ වන විට ඝාතනය වී ඇති බවට වන තහවුරුව ප්‍රබල කාරණයකි. එහෙත් රණවිරු සෙල්ලම නිසා වරදකරුවන් බේරී පලා යාමට අදටත් වෙහෙසෙයි. එම සියලු බලපෑම් හමුවේ යුක්තියද හිස කෙළින් හිඳුවාගෙන සිටීම හෙට දවසේ අපරාධ යුක්තිය ගැන සැනසෙන්නට ඇති එකම දෙයයි.

දැන් අවශ්‍ය වන්නේ රණවිරුවන්ට මුවා වී අපරාධ සිදු කළ ලොකු පොඩි සියල්ලන්ම ජනතාව හමුවේ අනාවරණ කිරීමය. ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවැසි නිදහස ලබා දීමය. එකී නිදහස දෙනොදහසකගේ කඳුළු හමුවේ යුක්තිය රැගෙන එනු ඇත. රටට අවශ්‍ය වන්නේ එයයි. වරදකරුවන් හෙළිදරව් වීමයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment