ටැක්සිකාරයා.. මං ඇරල යන්න හරිම සූරයා.. - උසාවි සාවිය 5

ටැක්සිකාරයා.. මං ඇරල යන්න හරිම සූරයා.. - උසාවි සාවිය 5

මගේ මතකයේ කෙළවරටම ගමන් කරද්දී “ට්‍රොලි බස්” රියේ නැගී පරණවාඩියේ (ආනන්ද විද්‍යාලය අසල- කුප්පියාවත්තේ) පුංචි අම්මලාගේ ගෙදර ගිය අයුරු සටහන් ව තිබෙනු පෙනෙයි. එම බස් රිය පුංචි අපට විස්මයක් ලෙස දැනුණේ තට්ටු දෙකකින් සමන්විත එහි වහලයෙන් ඉහළට එසැවුණ කම්බි දෙකක් ගමන් මාර්ගයේ ඉහළින් ඇදුණු වයර් දෙකක ස්පර්ශ වෙමින් “චට-පට” හඬින් රීදීවන් විදුලි පුපුරු නංවමින් ගමන් කිරීමයි. එහි රියදුරා හිඳ සිටියේ ඔහුට පමණක් වෙන්වූ ඉදිරි ඉඩක කුඩා කුටියක ය. කොන්දොස්තරවරයා විශාල පාපුවරුවේ නැගී ටිකට් පත් නිකුත් කරයි. අද මෙන් විශාල මගී තදබදයක් නැති නිසා ට්‍රොලි බස්රියේ ගමන් කිරීම සුන්දර අත්දැකීමකි. කන්කරච්චලයක් ද නැත.

පසුව “ඩබල් ඩෙකර්” නම් රතුපාටින් වර්ණ ගැන්වූ තට්ටු දෙකේ බස්රිය ප්‍රවාහන පද්ධතියට එකතු විය. එකල එහි තට්ටු දෙකට කොන්දොස්තරවරු දෙදෙනෙක් අනුයුක්තව සිටියහ. අප වැඩි කැමැත්තක් දැක්වූයේ ඉහළ මාලයේ ගමන් කිරීමටයි. එහි ඉදිරිපස පළු දෙකේ වීදුරු දෙකක් පිහිටා තිබූ අතර ඉන් පිටතට හිස රුවා හාත්පස සිරි ඉහළ සිට නරඹමින් ගමන් කිරීම ආස්වාදයක් විය. එම ජනේල දෙක හිමි කරගැනීමට අප අතර තරගයක් පවතින බැවින් වැඩිහිටියන්ගේ තරවටුවලට ද අප ලක්වන්නෝ ය. මගේ මතකයට අනුව එහ ිසේවකයන් ඉතා විනීත ගති පැවතුම් ඇත්තෝ ය. මාර්ග අංක 112 කඩුවෙල- මහරගම සහ මාර්ග අංක 134 අංගොඩ- ගල්කිස්ස අපගේ සුපුරුදු ගමන් මාර්ගයක් බැවින් එම මාර්ග දෙපස තිබූ බොහෝ දෑ කටපාඩමින් කීමට තරම් අප සමත් වූයේ ඇස ගැටෙන සෑම දැන්වීම් පුවරුවක්ම හඬින් කියවීමට අප දැක්වූ කැමැත්ත නිසාය. මාර්ගය දෙපස වැඩී ඇති සුවිසල් මාරගස් යටින් යද්දි අප වහා හිස ඇතුළට ගන්නා අතර සමහර තැනකදී “ඩක..ඩක..” හඬින් අතු ඉති වහලය මත ගැටෙයි.

එම යුගයේදී “ඇල්බියන්” නම් අපූරු හැඩයකින් යුත ුතනි තට්ටුවේ බස් ද පොදු මගී ප්‍රවාහන පද්ධතියට එකතු ව තිබුණ අතර පසුව “ඉසුසු” වර්ගයේ බස් බහලු විය. මාර්ගවල තත්ත්වයත් වෙනත් හේතූන් නිසාත් තට්ටු දෙකේ බස් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වූ අතර අද අප අත්විඳින තනි තට්ටුවේ පොදු ප්‍රවාහන ක්‍රමය ස්ථාපිත විය. අපගේ යුගයට කලින් ට්‍රෑම් කාර් නම් පිීලි මත දිව යන කුඩා කෝච් වර්ගයේ පොදු ප්‍රවාහන ක්‍රමයක් ක්‍රියාත්මක ව තිබුණත් අප දැක ඇත්තේ පාරේ තැනින් තැන මතුවී තිබුණ යකඩ පීලි පමණි.

මේ සියල්ල අතරේ මුළු කොළඹ නගරයම ආවරණය වන පරිදි දිවා රාත්‍රී දෙකෙහිම ක්‍රියාත්මක වූ පොදු ප්‍රවාහන සේවය වන්නේ “ටැක්සි” නමින් හඳුන්වනු ලෑබූ කුලී රිය සේවයයි. මෙය පොදු සේවාවක් වුවද වරෙකට ගමන් කළ හැක්කේ පවුලේ හෝ මිතුරු කණ්ඩායමකට හෝ තනි පුද්ගලයකුට හෝ පමණි. නගරයේ ඕනෑම හන්දියක ලියාපදිංචි ටැක්සි නැවතුම් පොළවල් පිහිටා තිබිණ. ටැක්සි රථ හිමිකරුවන් කවරෙක්දැ යි නිශ්චිත නැතත් ඕනෑම ටැක්සියක රියැදුරා හෙවත් “ටැක්සිකාරයා” නගරයේ ජනප්‍රිය චරිතයක් විය. කොළඹ නගරයට සංක්‍රමණය වූ ග්‍රාමීය මූලයන් ඇති තරුණ පිරිමින් බහුලව “ටැක්සිකරුවන්” ලෙස සේවය කළ බව මට මතකය. මුල් යුගයේ “ඔස්ටින් ඒ තර්ටි” කාර් රථත් පසුව හිල්මන්, ඔක්ස්ෆර්ඩ් සහ ඔස්ටින් ක්‍රේම්බි්‍රජ් රථත් පසුව ඉතා ජනප්‍රිය වූ “මයිනර්” රථත් ටැක්සි සේවය සඳහා භාවිතයට ගනු ලැබ තිබිණ. ඉඳහිට “වොක්ස්වැගන්” ටැක්සිද දැකිය හැකිවිණ. සෑම ටැක්සියකම ඉදිරි දකුණු පස මීටරයක් සවි කොට තිබිණ. මගියකු නැගුණ විගස ටැක්සිකරු ජනේලයෙන් පිටතට දකුණත රුවා එහි කොටසක් පහතට කරකවයි. එය එකල හැඳින් වූයේ “මීටරය කඩනවා” කියා ය. පළමු කැරකැවීමේදී සත 50 මීටරයේ සටහන් වන අතර එතැන් පටන් සෑම හැතැප්මයකට සත 50ක් ලෙස ගමනාන්තය දක්වා වටිනාකම සටහන් වේ.

උසාවි සාවියට අදාළ පරිසරයට අනුව මතක ඉව දිව යද්දී මගේ දෑස් ඉදිරිපිට රඟන්නේ ප්‍රධාන උසාවි ගොඩනැගිල්ල ඉදිරිපිට වේල්ල වීදියේ කන්ද මුදුනේ පිහිටි ටැක්සි නැවතුමයි. එය ඉතා ජනප්‍රිය ටැක්සි නැවතුමක් වුයේ උසාවිය නිසාය. රටේ නමගිය අපරාධකාරයන් මෙන්ම රටේ සුප්‍රසිද්ධ පුද්ගල චරිතද උසාවි සාවියේ කරක් ගසන බැවින් ටැක්සි සේවාව ඔවුනතර ජනප්‍රිය ව තිබිණ. හැටේ දශකයේ ටැක්සි සේවාවේ ජනප්‍රිය බව මැනීමේ මිණුම් දණ්ඩක් ලෙස ගත හැකි “ටැක්සිකාරයා.. මං ඇරල යන්න හරිම සූරයා- කවුද මිත්‍රයා මම නොදන්න කොළඹ හාදයා..” නම් බයිලාව මගේ මතකයට දිව එයි. එය එදා අතිශය ජනප්‍රිය බයිලාවක් විය. සෑම සංගීත සංදර්ශනයකදී ම එම්එස්ට මේ ගීතය නොගයා සිටීමට බැරි වූයේ එහි වූ අසීමිත ජනප්‍රියතාව නිසාය.

මගියා බීමත්ව සිටී නම් හෝ කොළඹ නගරයට ආගන්තුකයකු බව හැඟේ නම් හෝ මීටරය දෙවරක් කරකවා හෙවත් “ඩබල් එකට කඩා” වැඩි ගණනක් සටහන් වන ලෙසට මීටරය සකස් කර ගැනීමට ටැක්සිකාරයා සූරයෙකි. “දහයෙන් පසු ඩබල් එකට කඩන්නේ.. මීටරයත් ගිඩි-ගිඩි ගා ගැහෙන්නේ..” යයි එම්.එස් පෙරේරා ගයන්නේ එනිසා ය. අද ත්‍රීවීල් මීටරය සේ ම එදා ටැක්සි මීටරයත් රාත්‍රී දහයෙන් පසු ඩබල් එකඩ කැඩීම නීතියෙන් තහනම්ව නොතිබුණකි. ඔවුන්ගේ රාත්‍රී සේවයේ දුෂ්කරතාව සලකා දෙන ලද සහනයක් විය යුතුය. එය දහවලේ සිදුවන්නේ නම් ඒ කපටි ටැක්සිකාරයකුගේ නොමනා ක්‍රියාවක් ලෙසිනි.

ටැක්සිකරුවන් “නගරංකාරයන්” හෙවත් යම් තරමක රළු දාමරිකයන් බවට මතයක් කොළඹින් පිට මිනිසුන් අතර ප්‍රසිද්ධව තිබිණ. අද ත්‍රීවීල් රියදුරන්ට සේ ම එදා ටැක්සි රියදුරන් කෙරෙහිද මගියන් දැක්වූයේ තරමක නොපහන් හැඟුමකි. රළු කතාබහ ඇති, මාර්ග නීති නොසලකා වේගයෙන් රථ ධාවනය කරණ, අවස්ථාවක් ලද හැටියේ මිනිසුන් රවටා වාසි සලස ගන්නා දුශ්චරිතයන් ලෙස සැලකූහ. එහෙත් මා දන්නා ටැක්සි රථ රියදුරෝ බොහෝ කාරුණික අය වූහ. රළු කතා-ලතා ඇතත් ඔවුන් හිත හොඳ මිනිසුන් ය. ඔවුන් ද රැවටීම් වලට භාජනය වී අත ඇති මුදල් පමණක් නොව සමහර විටක ජීවිතය පවා පුද කළ අවස්ථා අසන්නට ලැබී තිබිණ. වතුවල සිදුවන කළ-කෝලාහලවලදී තුවාල ලබන අය මෙන්ම ස්වාභාවිකව ඔත්පල වී මරු මුව සමීපයේ වැතිර සිටින අයත් මේ දැන් දරුවා ලැබීමට තරමේ ප්‍රසව වේදනාව දරණ ගැබිණියන් සිය ටැක්සියේ නංවා ගෙන රෝහල් කරා රැගෙන ගියත් සමහර විටක ඒ සඳහා ගෙවීමක් පවා ඔවුනට නොලැබෙන අවස්ථාද වෙයි.

කොළඹ කොටුවේ බාර් සමීපයේ සිට රාත්‍රී ජාමයේ සිය ටැක්සියට ගොඩවන බේබදු මගියා නිසා අපූරු අත්දැකීම් විඳි ටැක්සිකාරයන් ගැනද අපි අසා ඇත්තෙමු. සිය නිවෙස පිළිබඳ මතකයක් නැති එවැනි බේබද්දන් නිසා ටැක්සිකරුවන් අතින් පාඩු කරගත් අවස්ථා බොහෝ ය. හිත මිතුරු වූ බේබදු මගියන් නිවෙසට ඇරලවීමට ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ලැබ ඔවුන්ගේ ප්‍රිය බිරින්දෑවරුන් සමඟ සොඳුරු සබදතා පවත්වා ගත් ටැක්සිකාරයන් ද නොසිටියා නොවේ. කොළඹ හතේ සුන්දර නෝනලා බේබිලා කඩවසම් හැඩිදැඩි ටැක්සිකරුවන් සමඟ අලුත් ජීවිතයක් වෙනුවෙන් සියලු සම්පත් අතැර පලා ගිය පුවත්ද අසන්නට කියවන්නට ලැබ තිබිණ. එසේම රටේ නමගිය චණ්ඩින්ගේ ඇසුර නිසා හිරේ විලංගුවේ වැටුණ ටැක්සිකාරයෝද සිටියහ. “චීනා” ලෙස නම් දැරූ දාමරිකයා සිය සගයා ලෙස “ඔස්ටින් ක්‍රේමිබි්‍රජ්” ටැක්සියක් පැදවූ රියැදුරකු භාවිතා කළ බවට පුවත්පත් වාර්තා පළ වී තිබිණ. හැටේ දශකයේ සුප්‍රසිද්ධ “හාර ලක්ෂයේ මංකොල්ලයට” භාවිත කර තිබුණේ ද කුලී රථයක් සහ එහි රියැදුරා ය.

ගැටවර අපි සන්තබස්තියමේ සිට වේල්ල වීදිය ඔස්සේ උසාවි සාවියේ ටැක්සි නැවතුමට පැමිණ වත්තේ හදිසි ලෙඩෙක් සිටින්නේ යයි පවසා ටැක්සියේ නැගී පැමිණ විසිහතේ වත්ත ඉදිරිපිට පාරේ ටැක්සිය නවතා වත්තට දිව යන්නෙමු. තමා රැවටීමකට හසු වූ බව ටැක්සිකාරයා දැන ගන්නේ පමාව පිළිබඳ විපරම් කිරීමට වත්තට පැමිණි පසුය. ඒ සියල්ල ළමුන්ගේ “ කොලොප්පමක්” බව දැනුණ විට දෙමව්පියන්ටත් අමු කුණුහබ්බ කියමින් බැණ වැදී මීටරයේ සටහන් වූ සත පණහේ අලාබය දරමින් ඔහු පිටව යයි. එහෙත් සැමවිටම ටැක්සිකාරයාට වරදින්නේ නැත. අපේ සමහරුන් පසුව ටැක්සිකාරයන්ට හසුවී “ඔළුව හිල් වෙන්න ටොකු කෑ” බවත් මට මතකය.

උසාවි ටැක්සි නැවතුමේ සිටින ටැක්සිකාරයන් සිය විවේකය ගෙවීමට තෝරා ගන්නේ එක්කො ්“දාම් ඇදීම” ය. නැතහොත් “ඔමි” බැලීම ය. නැතහොත් කිහිප දෙනෙක් වට වී රටේ තොටේ විත්ති කතා කරමින් මගියකු කුලී ගමනකට කතා කරනතුරු රැස්ව සිටිති. පුවත්පතක් කියවමින් කල් මරති. මා අසා ඇති ආකාරයට මෙවැනි ටැක්සි නැවතුම්වල මනා සේ නඩත්තු කරණ ලද අරමුදල් සහිත අනෝන්‍යාධාර සමිති පවා පිහිටුවා තිබිණ. තමන්ගේ සගයකුගේ විපතකදී පමණක් නොව නිවසේ කටයුත්තක දී පවා ඔවුහු නොමසුරුව සිය සගයා වෙනුවෙන් පෙනී සිටිති. බාහිරෙන් පැමිණෙන හතුරු අන්ත්‍රාවකදී එක්වන්ව කටයුතු කරති. වෙසක් උදාවේදී මහා දන්සල්ද පවත්වති.

මොවුන් අතර මගේ ජීවිතයට වඩාත් සමීප “ටැක්සිකාරයෙකු” ද විය. ඔහු නමින් “ වර්ෂහැන්නදිගේ ජයරතන්” ය. නෑකමින් මගේ මස්සිනාය. මස්සිනා වන්නේ අපේ පොඩි අක්කාගේ සැමියාගේ මල්ලි වීම නිසාය. වැලිගම සිට කොළඹ පැමිණ රියැදුරු රස්සාවට පුරුදු වී සිටි ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ නැවතුමක සිට ටැක්සි සේවයේ නිරතව සිටියේ ය. සමේ පැහැයෙන් කළු වුවත් පැහැපත් දත් දෙපෙළක් ඇති ඔහු සිනාසෙන විට මුහුණකට සිරියාවන්ත ය. ගැමිකම නොවියැකුණ අමුතුම කතා-ලතා ඇත්තෙකි. එකල “ජයරත්න අයියා” මගේ වීරයෙකු සම විය. මන්ද යත් ඔහු සතුව තමාගේම මයිනර් කාරයක් තිබීමයි.

මාසකට හෝ දෙකකට වතාවක් ජයරත්න අයියා පොඩි අක්කලා පදිංචිව සිටි (මා එකල සිටියේ ඔවුන් සමඟය) කොටිකාවත්තේ නාගහවෙල පාරේ කුලී නිවෙසට පැමිණෙයි. ඒ එනවිට මස් මාළු මෙන්ම පාන් එළවළු සහ අවුළුපත් සහිත මල්ලක් දෙකක් රැගෙන එයි. එවැනි ගමනකදී ඔහු අප සියල්ලන්ම ඔහුගේ ටැක්සියේ නංවා ගෙන හැඳල ප්‍රීතිපුර මුහුදේ නාන්නට රැගෙන යයි. ඒ නම් කලෙකින් අප අත්විඳින මිහිරි අත්දැකිමකි. ඇති තරම් මුහුදේ නා වැල්ලේ සෙල්ලම් කොට ඌරු මස් ද කා යළි එන මඟ “කරිජ්ජ” හේදෙන්නෙට හැඳල විජය ස්ටුඩියොව් ඉදිරිපිට හැමිල්ටන් ඇලෙන් ද නාන්නෙමු. ජයරත්න අයියා මට නම් “ටැක්සිකාරයකු” නොවන්නේ ඔහු හා අප අතර තිබූ මේ සමීපතාව නිසා ය.

ජයරත්න අයියා පැමිණි විට මයිනරයේ රියැදුරු අසුනේ ඉඳ ගන්නා මම සුක්කානම හසුරුවමින් මනෝ රථ පැදවුමක නිරත වන්නෙමි. මගේ අවට මිතුරන් එදෙස බලා සිටියදී කටින් මෝටර රථයේ ගමන් ලතාවේ හඬ ක්‍රියාත්මක කරමින් රථය පදවන්නෙමි. අනතුරුව ඉදිරි කැබියේ කුඩා ටින් එකක ඇති සත පහේ සිට රුපියල දක්වා වන මාරු කාසි බඳුනෙන් කාසි අහුරක් සාක්කුවේ රුවා ගෙන ගෙට යන්නෙමි. තමාගේ මාරු කාසි බඳුන අඩුව ඇති බව දැනෙතත් ඔහු කිසිවිටක මට දොස් කියා හෝ මස්සිනාට පැමිණිලි කර හෝ නැත. ඒ ජයරත්න අයියාගේ හැටිය. ඔහුගේ මේ නිහඬතාවේ උපකාරයෙන් මම කිහපි වතාවක් ඔහුට අයත් මුදල් සොරා ගෙන ඇත්තෙමි. එහි උපකාරයෙන් ටොපි චොකලට් කන්නට ඇත. වීදුරු බෝල, සරුංගල්, පෑන් පැන්සල් ගන්නට ඇත. එය නිමා වූයේ වතාවක් ඔහු රියෙන් නොබැස මස්සිනා සමඟ යමක් කතා කර පිටව යන්නට පෙර කැබිය විවර කර එහි වූ ටින් එකෙන් මාරු කාසි අහුරක් ගෙන මා අතට පත් කිරීමත් සමග ය. ඒ මොහොතේ ඔහුගේ කට දෙකළවර සිනහවක් නැගී තිබිණ. උපහාසාත්මක නොවුණත් එය මගේ හිතට තදින් වැදිණ. “අද සල්ලි ගන්න බැරි උණා නේද?” යි ඇසුවා නම් කම් නැත. ඒත් මේ සිනහව.? එදා සිට මම ඔහුගේ මුදල් සොරා නොගත්තෙමි. ඒ දැන හෝ නොදැන හෝ ඔහු පැමිණ යන හැම විටකම මා අතේ සත පණහක්, රුපියලක් ගුළි කර යන්නේ ය. ගෙවී ගිය කාලය වසර හතළිහකටත් වැඩිය. වසර තිහකින් මෙපිට අප හමු වී නැතත් ඔහු මගේ මතකයේ සදා නිදන් ව සිටියි.

පසු කලෙක ජයරත්න අයියා බේස්ලයින් පාරේ සමන්තා සිනමා හල අසල තමාගේම භාණ්ඩ ප්‍රවාහන සේවයක් (Jayarathne Transport service) පවත්වා ගෙන ගිය බව අසා දැන සිටියත් අප හමු නොවුණා තරමි. මගේ බාල වියේ අත්දැකිම් එකතු කරද්දි මට අමතක කළ නොහැකි ඒ ටැක්සිකාරයා මසුරන් වටින මිනිසෙකු බව සටහන් කරන්නේ සිය ගමබිම් අත්හැර කොළඹ පැමිණ ටැක්සිකාරයන් ලෙස හංවඩු ගැසුණ ද ඔවුන් අතර මිනිස්කම් පිරි මිනිසුන් සිටි බව වටහා දෙනු පිණිස ය.

- අනුරසිරි හෙට්ටිගේ
anurasirihettige@gmail.com

උසාවි සාවිය පෙර ලිපි:

උසාවි සාවිය 01 - මඩමේ සිට Day Care දක්වා 

උසාවි සාවිය 02 - සරුංගල් ලුහුබඳින්නෝ - Kite Runners

උසාවි සාවිය 03 - ගාමිනී බහින්න, මානෙල් බහින්න...

උසාවි සාවිය 04 - ඉතිකින් අපට සැප නම් දැක්මමයි නුඹේ..

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment