පක්ෂය පවා දුන්නා යයි ගාල්ලේ මන්ත්‍රී 7කට ඇමති වජිරගෙන් දොස් මුරයක්

පක්ෂය පවා දුන්නා යයි ගාල්ලේ මන්ත්‍රී 7කට ඇමති වජිරගෙන් දොස් මුරයක්

එක්සත් ජාතික පක්ෂය විසින් ජයග්‍රහණය කළ ගාල්ල මහා නගර සභාවේ නගරාධිපතිවරයා තේරීමේ දී එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් හත් දෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයාට ඡන්දය දෙමින් අප පක්ෂයේ මතයට පටහැනිව ක්‍රියාකර තිබෙන බවද ඒ මහතා අවධාරණය කළේය.

වජිර අබේවර්ධන මහතා විසින් මාධ්‍ය අදහස් දක්වමින් පවසා සිටියේ නගරාධිපති තේරීමේ දී එක්සත් ජාතික පක්ෂ සභිකයින් 14 දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධාන සභිකයින් තිදෙනාත් සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභිකයාත් එක්ව කටයුතු කිරීමට එකඟතාව පළ කර තිබුණු බවයි.

එහෙත් සභාවේ ඡන්දය පැවතුණු අවස්ථාවේදී එම එකඟතාව කඩකරමින් පක්ෂයේ මන්ත්‍රීවරු හත් දෙනකු කටයුතු කිරීම නිසා නගරාධිපති තේරීමේ දී එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති අපේක්ෂකයා පරාජයට පත්වෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා පත් වූ බවත් පක්ෂයේ එකඟතාවයට පටහැණිව යමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ යෝජනා ස්ථිරත්වයෙන් නියෝජ්‍ය නගරාධිපති ධූරයට පත්ව සිටින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

පක්ෂයේ විනය කඩකිරීම බරපතල වරදක්

වැඩිදුරටත් ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා පවසා සිටියේ විනය ගරුක පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය මෙවැනි ක්‍රියා කිසිසේත් අනුමත නොකරන බවයි. එසේම පක්ෂේ තීරණයට පටහැනිව යමින් කටයුතු කිරීම බරපතල වරදක් බවත් පක්ෂයේ නායකයාට සහ පක්ෂ මහ ලේකම්වරයාට මේ බව දැනුම් දී ඇති බවද ඔහු පැවසීය. ඒ අනුව දැනටමත් පක්ෂයේ මතයට පටහැනිව කටයුතු කළ ගාල්ල මහ නගර සභාවට තේරීපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

පාක්ෂිකයාගේ මතය මුදලට පවා දීම අනුමත කරන්න බැහැ

එසේම අමාත්‍යවරයා කියා සිටියේ ගාල්ල මහ නගර සභාවට සභිකයන් තේරීමේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් සියලු දෙනාගේ අපේක්ෂාව වූයේ ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම වුවද ඒ මතය ඔවුන් ජයග්‍රහණය කළත් කිහිප දෙනකු එකතු වී එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මතය මුදලට පාවා දීම අනුමත කළ නොහැකි බවයි. ඉන් සිදු කර තිබෙන්නේ පාක්ෂිකයන්ගේ මතය හෑල්ලුවට කිරීමක් බවත් ඔවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතු බවද වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජයකාන්ත ලියනගේ - බළපිටිය

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment