රනිල් - ඊයේ, අද සහ හෙට - සුබපැතුමක් නොවන උපන්දින පණිවුඩය

රනිල් - ඊයේ, අද සහ හෙට - සුබපැතුමක් නොවන උපන්දින පණිවුඩය

අපි සෑහෙන කාලයක පටන් මාර්තු 24 වැනිදාට රනිල් ශිරාන් වික්‍රමසිංහගේ උපන්දිනයට ලිපියක් පළ කරන්නෙමු. එම ලිපියට අමතරව ලංකා නිව්ස් වෙබ් ප්‍රධානීන් ඔහු අමතා සුබ පැතීම ද සිදුකරයි. නමුත් ඒ සියලුම දේවල් සිද්ධ වුණේ ඔහු විපක්ෂ නායක සිටි කාලයේ පමණි. අපව ඔහුට අමතක වූවාදැයි නොදනිමු.

අප රනිල්ට ඇලුම් කරන්නේ ඔහු ලංකාවේ හොඳම ලිබරල් අගමැතිවරයා නිසාය.ප ඔහු හොඳම ලිබරල් නායකයා යැයි නොකියන්නේ ඔහුට වඩා ඉදිරියෙන් සිටි ලිබරල් නායකයන් ශ්‍රී ලකාව සතුව සිටි නිසා ය. ලලිත් ඇතුළත්මුදලි, ගාමිනී දිසානායක, ලක්ෂ්මන් කදිරගාමර් වැන්නන් ඒ අතර වේ. කෙසේ නමුත් රනිල්, ඔහුගේ මාමා වන ජේ.ආර්. ජයවර්ධනට ද වඩා ඉදිරියෙන් සිටි නායකයෙකි.

රනිල් යනු නියම ලිබරල් දැක්මක් සහිත නායකයෙකි. GOP යනු Grand Old Party යන්නයි. එංගලන්තයේ GOP එක කන්සවේටිව් හෙවත් ටෝරි පක්ෂයයි. ඇමරිකාවේ දී නම් එය රිපබ්ලිකන් පක්ෂයයි. ලංකාවේ GOP එක එක්සත් ජාතික පක්ෂය හෙවත් යූඇන්පී ය වේ. මේ පවතින්නේ මෙම රටවල් තුනේම GOP බලයේ සිටින අවස්ථාවකි.

දෘෂ්‍යමය අවුලක

නමුත් මේ රටවල් තුනම මේ අවස්ථාවේ දෘෂ්‍යමය වශයෙන් අවුලකට පත්ව තිබේ. ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය යනු අපට ගෝලීයකරණය කියා දුන් ලෝකයේ රටවල් ය. ඇමරිකාව අද බහුජනවාදයේ සිට ආරක්ෂණවාදය දක්වාද, මහා බ්‍රිතාන්‍යය බ්‍රෙක්සිට් එක ඔස්සේ ද නැවත පටු ආස්ථානයක් වෙත අපගමනය වෙමින් සිටියි. යුරෝපය තුළද මෙය විශාල රැල්ලක් වශයෙන් යුරෝපය ගිල ගනිමින් පැතිර යමින් සිටියි. නමුත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා ඒ බ්‍රෙක්සිට්වල පටු සීමාව මේ වන විට හොඳටම තේරුම් ගෙන තිබෙන්නේ රුසියාව සමග ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයත් සමගිනි. ලෝකයේ කිසිදු රටකට තනිවම ජීවත් විය නොහැකි බවත්, අනෙක් අයගේ සහයෝගය සිය පැවැත්ම සඳහා අවශ්‍ය බවත්, ලෝකය තනි යායක් බවත් ඇයට මතක් වන්නේ දැන් ය. ඒ තනියාය හැමවිටම තිබෙන්නේ සාමූහිකත්වය තුළ ය. ටීම් වර්ක් එකක් තුළ ය. තනිවම මැච් එකක් ගහන්නට බැරි බව ඇය දැන් වටහාගෙන ඇත. ඇමරිකාව මේ අවබෝධයට එළඹෙන දිනය තවත් බොහෝ දුර බව පෙනේ.

රනිල් සම්බන්ධයෙන් සෘජුවම අදාළ නොවුණ ද මේවා කියන්නට සිදුවන්නේ කාලීන ලෝක දේශපාලන ප්‍රවණතාවයන් විග්‍රහ කිරීිමේදී ලංකාව තනිවම පසෙකින් තබන්ට නොහැකි නිසා ය. රනිල් ගැන බ්‍රැඩ්මන් වීරකෝන් ‘අරලියගහ මන්දිරයේ හෘද ස්ඵන්දනය’ හෙවත් 'Rendering Unto Caesar' පොතේ බ්‍රැඩ්මන් වීරකෝන් විසින් රනිල් වික්‍රමසිංහ ඔහුව කැඳවා සිය ලේකම් වශයෙන් ඔහුව පත් කර ගත් ආකාරය විස්තර කරයි. එතැනදී බ්‍රැඩ්මන් සඳහන් කරන ආකාරයට මෙන්ම අපද දන්නා ආකාරයට රනිල් ගේ දේශපාලන දිවියේ ස්වර්ණමය කාලය 2001 සිට වර්ෂ 2004 දක්වා වසර 3 ක කාලයයි. එනම් තෙවසරක අගමැති ජීවිතයයි. එදා මෙන්ම අදත් ඔහුට අගමැතිකම දරන්නට සිදු ව තිබෙන්නේ ප්‍රතිපක්ෂ විධායක ජනාධිපතිවරුන් යටතේ ය.

ජාතිවාදී කැණහිළුන් හූ කියනු ඇත.

නමුත් එහිදී ඔහුට ‘පුබුදමු ශ්‍රී ලංකා’ යනුවෙන් ස්ථිරසාර ප්‍රබල වැඩසටහනක් තිබිණි. ඒ අනුව ඔහු නිශ්චිත ඉලක්කවලට ගමන් කළේය. රටේ ආර්ථික වර්ධනය ඉහළ අගයක් දක්වා ගෙන ආවේය. ඒ සියල්ලටම වඩා ඔහුගේ ජීවිතයේ ඔහු ඉෂ්ට සිද්ධ කරගත් හොඳම ජයග්‍රහණය වන්නේ දමිල ඊලාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්ටීටීඊය ඇතුළතින් කඩා බි`ඳ දැමීමට ඔහු උපක්‍රමශීලී ලෙස කටයුතු කළ ආකාරයයි. එල්ටීටීඊයේ යුධ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම කඩා දැමූ නායකත්වය වන්නේ රනිල් ය. මෙසේ පැවසීම නිසා ජාතිවාදී කැණහිලුන් අපිට හූ කියනු ඇත.

රනිල්ගේ හොඳම කුසලානය

2002 පෙබරවාරි මාසයේ රනිල් එල්ටීටීඊය සමග ඇති කරගත් සටන්විරාම ගිවිසුම ජාතිවාදීන් දුටුවේ මව්බිම පාවාදීමක් ලෙස ය. එල්ටීටීඊය ශක්තිමත් කිරීමට රනිල් උදව් කළ බව ය. රනිල් ඒ කිසිවක් ගණන් ගත්තේ නැත. ඔහු ඔහුගේ කාර්යය කරගෙන ගියේය. හාමුදුරුවන් මොනවා කීවත්, සිංහල ජාතිවාදී උන්මත්තකයන් මොනවා කිව්වත් රනිල් රනිල්ගේ වැඩේ කළේය. එල්ටීටීඊ ය එහෙම් පිටින්ම උූගුලට හසුවුණේ 2002 සටන් විරාම ගිවිසුම හරහා ය. ගරිල්ලා සංවිධානයක් සාකච්ඡා මේසයකට පැමිණි හැම වෙලාවකම ලෝකය පුරාම සිදු වුණේ ඔවුන් පරාජය වීමයි. වියට්නාමයේ වියට්කොං ගරිල්ලන්ගේ පටන් කොලොම්බියාවේ ෆාක් ගරිල්ලා සංවිධානය දක්වාම සිදු වුණේ ඔවුන්ව උගුලකට හසුවීමයි. ලෝකය හමුවේ සාකච්ඡා මේසයට පැමිණි පසු ඔවුන්ට නැවත කැළෑ වැදිය නොහැක. රනිල් එය ඉතාම සූක්ෂ්ම ආකාරයට අවබෝධ කරගෙන සිටියේය. හැබැයි රනිල් ඒ පිළිබඳව පෝස්ටර් ගහන්නට ගියේ ද නැත. කිසිවකෙුට නොවැටහුණාට මේ ක්‍රියාදාමය ශාස්ත්‍රපති නිබන්ධනයකට වුව සුදුසු මාතෘකාවකි. රනිල්ගේ දේශපාලන ජීවිතය සැලකූ විට රනිල් ලද ලොකුම ජයග්‍රහණය, දැන හෝ නොදැන සිදුකළ මේ කාර්යභාරයයි. නමුත් ලංකාවේ පොදු ජනතාවට එය ගෝචර වූයේ නැත. ඔවුන්ට එය දැකිය හැකි තරම් විචක්ෂණ මනසක් ද නැත. මන්ද ඔවුන් යුද්ධයේ ජයග්‍රහණය සින්නක්කරවම රාජපක්ෂලාට ලියා දී ඇති නිසා ය. මහින්ද රාජපක්ෂ නමැති පුද්ගලයා කළේ කඩින්කඩ දිවීමේ තරගයක අවසාන කඩඉම දුවා කුසලානය ගෙදර ගෙන යාමයි.

රනිල් මේ සාම ප්‍රයත්නය මෙහෙයවූයේ පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක ප්‍රධාන විධායකයෙකු කටයුතු කරන පරිද්දෙනි. ඊට පැහැදිලි දර්ශනයක්, ක්‍රමෝපායික සැලසුමක් හා ඒ ඒ සැතපුම් කණුවේදී සමථයකට එළඹිය යුතු කරුණු අඩංගු මාර්ග සිතියමක් ද තිබිණි. ‘සාම ප්‍රයත්නය පිළිබඳ මාර්ග සිතියම‘ යන වචනය නිල ව්‍යවහාරයට පිවිසියේ උතුරු අයර්ලන්තය හා මැදපෙරදිග පවත්නා නිරන්තර ගැටුම්කාරී සිද්ධීන් විශ්ලේෂණය කළ සමථ විශේෂඥයන්ගේ අදහස් මත ය. රනිල් සිතුවේ ශ්‍රී ලංකාවේ පවත්නා ඔඩු දුව ගිය මූලික ප්‍රශ්නය විසඳීමට ද එසේ පියවරෙන් පියවරට ඉදිරියට යන මාර්ග සිතියමක් අවශ්‍ය බව ය. එම සිතියම දිග හරිමින් ඉදිරියට යාමට ආයතනයික රාමුවක් ද අවශ්‍ය බැව් රනිල් තේරුම් ගෙන තිබිණි.

89 වසරේ ප්‍රේමදාස බලයට පත්වන විට ජනතා විමුක්ති පෙරමුණ සිතුවේ ප්‍රේමදාස වැනි දුර්වල නායකයෙක් බලයට ගෙනැවිත් ඔවුන්ට තමන්ගේ සිහින රාජ්‍යය බිහිකර ගත හැකි බව ය. ඔවුන්ගේ සිහින රාජ්‍යය වසරක් ඇවෑමෙන් ආර්. ප්‍රේමදාස කුඩුපට්ටම් කර දැමුවේය. 2001 වසරේ රනිල් ගැන ද එල්ටීටීඊ ය සිතුවේ එසේ ය. එල්ටීටීඊ යේ ව්‍යූහය කඩා බිඳ දමා එල්ටීටීඊ යේ යුධ ශක්තිය රැඳී තිබූ නැගෙනහිර කරුණා අම්මාන් සහ පිරිස අත ය. රනිල් කළේ ක්‍රමෝපායිකව උතුර සහ නැගෙනහිර වෙන් කිරීම ය. මෙහිදී ඔහු ආර්. ප්‍රේමදාසටත් වඩා විචක්ෂණ අන්දමින් එය කළේය. ඉන්පසු එල්ටීටීඊ ය යුධමය වශයෙන් සදා අනාථ විය. මේ කථාන්දරය, අප විසින් ඉදිරිපත් කරන්නට නියමිත මහා ලියවිල්ලක පෙරවදනයි.

එදා අප දුටු ඔහුම ද මේ..?

රනිල් අවසානයේ 2015 වසරේ බලයට පත්වන්නේ හතරවැනි වතාවට ය. අද වන විට රනිල් කියන්නේ ‘ලොස්’ හෙවත් පරාජිත චරිතයකි. ඔහු අද වන විට අනුන්ගේ ඔක්සිජන්වලින් ජීවත් වන චරිතයකි. අද මේ සිටින්නේ එදා 2001 සිට 2004 දක්වා සිටි රනිල්දැයි අපට සිතාගැනීමට පවා නොහැක. මෙයට මූලිකම හේතුව වන්නේ රනිල්ට නිසි මගපෙන්වීමක් නොමැති කමයි.

සොම්බී ඉෆෙක්ට් එක

අද පාස්කරලිංගම්ගේ සිට සමන් අතාවුද දක්වාම රනිල් වටා සිටින්නේ එහෙයියන් හෝ රනිල්ව පිනවන්නන් පමණි. බ්‍රැඩ්මන් වීරකෝන් මෙය තේරුම් ගෙන කටයුතු කළත් රනිල් වටේ සිටින පාස්කරලිංගම්, රත්වත්තේ වැනි චරිත සැබවින්ම ඇවිදින මළමිනී ය. ඔවුන්ගේ ග්‍රහණයෙන් හෙවත් ඒ ‘සොම්බී ඉෆෙක්ට් එකෙන්’ මිදෙන්නට රනිල් අපොහොසත් ය.

රනිල්ගේ හෙට දවස ඔහුට වඩා රටට භයංකාර ය.

අන්තිමට රනිල්ට එරෙහිව පක්ෂය තුළම මහා කැරැල්ලකි. රනිල් එය වසං කරන්නට හැදුවත් දැන් රනිල් ජීවත් වන්නේ රාජපක්ෂලාගෙන් ලැබෙන ඔක්සිජන්වලිනි. රාජපක්ෂලා නැවතත් දත කන්නේ රනිල් හරහාම රිදී බන්දේසියක තබා ආණ්ඩුව ගන්නට ය. එවිට හෙට දවස රනිල්ට වඩා රටට භයංකාර දෙයකි.

රනිල්ගේ ලිබරල් කම පොට පනින තැන

94 සිට 2001 දක්වා ද, නැවත 2004 සිට 2015 ජනවාරි 9 දක්වා ද වසර 21 කට ආසන්න කාලයක් විපක්ෂ නායකයා ව සිටි රනිල් අගමැතිකම දමා යයි කියා කීයටවත් විශ්වාස කළ නොහැක. එතරම් ඔහු නිහතමානී ද නැත. රනිල්ගේ ලිබරල්කම පොට පනින්නේ එතැනිනි. ලිබරල් රනිල් කවදාවත් බලලෝභී නැත. රනිල්ට තම ලිබරල්කම රැක ගැනීමට වඩා බලය රඳවා ගැනීම දවසේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. රනිල් ට මේ බව කියාදෙන්නට හැකියාව ඇති, පෘථුල දැනුමක් සහිත මහජන නියෝජිතයන් ද රනිල් වටා නැත.

අසූවිය සපිරුණු මහල්ලන් පිරිවරා (Octogenarian culture)

එනිසා අවසන් වශයෙන් කියන්නට තිබෙන්නේ රනිල් දේශපාලනික වශයෙන් ගොඩගත නොහැකි ජරාජීර්ණ මට්ටමකට අද වන විට පැමිණෙමින් සිටින බව ය. මන්ද ඔහු බුද්ධිමය වශයෙන් අද ඇත්ත වශයෙන්ම ඔක්ටොජෙනරියන්ස්ලා එනම් අසූ විටට පත් මහල්ලන්ගේ සිරකරුවෙක් වී සිටින නිසා ය. වෙනත් වචනවලින් කියන්නේ නම් දශකයක් වැඩිපුර විහින් වයසට ගොස් ඇති නිසා ය.

මේ තිබෙන වටපිටාව අනුව රනිල්ගේ හෙට දිනය ඉතාම අවිනිශ්චිත ය. නමුත් අප හෘදයාංගමව ප්‍රාර්ථනා කරන්නේ ඔහුගේ 70 වන උපන් දිනයට ද මෙලෙසින්ම ඔහුට සුබ පැතීමට හැකියාව ලැබේවා කියා ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment