“නැන්දේ එනකොට මට වතුර බෝතලයක් ගේන්න’’
වතුර බෝතලය ඔව් එය කෙතරම් නොවටිනා දෙයක්ද? වතුර බෝතලය කියලා හේෂාන් පුතා අදහස් කළේ සාමාන්‍ය වතුර බෝතලයක් නම් නෙවෙයි. ඉස්කෝලේ යද්දි වතුර පුරෝගෙන යන්න පුළුවන් පාට පාට ලස්සන රූප ඇලවූ පටියකින් උරේ එල්ලගෙන යන්න පුළුවන් වතුර බෝතලයක්.
හරි ඉක්මනින් කාලේ ගෙවිලා ගියා. පුංචි හේෂාන් නැන්දට කිව්වේ නැන්දා අවුරුදු පහකින් නැවත ලංකාවට එන බව දින සති මාස අවුරුදු ගණනින් ගණන් හදලා නෙවෙයි. ටික කාලයක් යද්දි නැන්දගෙන් කළ ඉල්ලීම එයාට අමතක වුණා. ඒත් පුංචි හේෂාන් පුතා පහ වසරට සමත් වෙද්දි හිටි හැටියෙම නැන්දා ලංකාවට ආවා. ලොකු නැන්දගෙන් කළ ඉල්ලීම හේෂාන්ට මතක නැතුව ගියත් නැන්දට ඒක හොඳටම මතක තිබුණා. නැන්දා ලංකාවට එද්දි හරිම අපූරු හරිම ලස්සන වතුර බෝතලයක් ගෙනාවා. නැන්දා වතුර බෝතලේ ගේනකම් හේෂාන් ඉස්කෝලෙට වතුර ගෙනිච්චේ හිස් ප්ලාස්ටික් බීම බෝතලයක. ඒකේ කිසි වටිනාකමක් නෑ. නිකම්ම නිකන් බෝතලයක් විතරයි. නැන්දා ගෙනා වතුර බෝතලය නිසා පුංචි හේෂාන්ට තිබුණේ පුදුම අහිංසක ආඩම්බරයක්. දැන් ඉතින් යාළුවොත් එක්ක එයාට හරි හරියට පෑහෙන්න පුළුවන්. අනිත් අයගේ වතුර බෝතල් වගේ නෙවෙයි මේක රටින් ගෙනාපු වතුර බෝතලයක්. ඒකේ ලස්සනම ලස්සන හාවෙකුගෙයි ජිරාෆ් කෙනෙකුගෙයි පින්තූර තිබුණා. හේෂාන්ගේ නංගී හරිම පොඩියි. වතුර බෝතලේ ගෙනල්ලා දවස් දෙකයි නංගි පැටියා අතින් ඒක බිම වැටුණා. මුකුත් වුණේ නෑ. හැබැයි ඒකෙ කෝප්පයක කෙළවරක පුංචි කෑල්ලක් කැඩුණා.
හේෂාන් ඇඬුවා අම්මා තමයි එයාව සැනසුවේ.
“පුතේ නංගිට තාම තේරෙන්නෙ නෑනේ’’
එහෙම කිව්වත් හිතට හරි ගියේ නෑ. ඊට පස්සේ හේෂාන් වතුර බෝතලේ හොඳට පරිස්සම් කළා. නංගිටවත් දුන්නෙ නෑ. එක දවසක් හේෂාන්ට පුංචි අමතක වීමක් වුණා. හරියටම වතුර බෝතලේ ඉස්කෝලේ ගෙනියපු පස්වෙනි දවසේ. පංති කාමරේ ටීචර් ලොක් කරන නිසා කාටවත් ඇතුළට යන්න බෑ වතුර බෝතලේ පරෙස්සමට ඇති. එයා එහෙම හිතුවා. පසුවදා පංතියට ගිහින් බැලුවත් වතුර බෝතලේ පංතියේ තිබුණේ නෑ. අඬාගෙනම තමයි හේෂාන් ගෙදර ආවේ. එයා අම්මට කිව්වා,
“අම්මේ වතුර බෝතලේ පංතියේ තිබුණේ නෑ.’’ හේෂාන්ගේ අම්මා පංතිභාර ටීචර්ට මේ ගැන කිව්වා. “මං පොඩ්ඩක් හොයලා බලන්නම්’’ ටීචර් කිව්වා. නැන්දා ගෙනා වතුර බෝතලේ අතුරුදන් වීම ගැන හේෂාන්ට තිබුණේ පුදුම කනගාටුවක්. යාළුවෝ කවුරුවත් හොරකම් කළාද? එක වෙලාවකට හේෂාන් එක එක විකාර කිව්වා. හැබැයි ඒ ඔක්කොම එයාගේ පුංචි හිතට ආපු කේන්තියට කියපු කතා. දැන් ඉතිං ඒක නැති වුණා ඒ ගැන හිතන්න එපා මං පුතාට අලුත් වතුර බෝතලයක් අරගෙන දෙන්නම්... එහෙම කිව්වේ තාත්තා. ඒත් ඉතිං නැන්දා රටින් ගෙනාවා වගේ එකක් නෙවෙයි කියලා හේෂාන් දන්නවා. පංති කාමරේ අමතක වෙලා ආපු වතුර බෝතලයට මොකක්ද වුණේ? හේෂාන්ට වගේම එයාගේ අම්මටත් ඒක ප්‍රශ්නයක්. ඒත් හේෂාන් තරම් අම්මා ඒ ගැන වද වෙන්න ගියේ නෑ. අඩුම තරමේ පංතිභාර ටීචර්වත් ඒතරම් උනන්දු වුණේ නෑ.
හේෂාන්ගේ පංති කාමරේ එයාල අත්වැඩ කරන අඩුමකුඩුම ඔක්කොම තියෙන්නේ ටීචර්ගේ අල්මාරියේ. යතුර තියෙන්නෙත් ටීචර් ළඟමයි. එක දවසක් ටීචර් මේ අල්මාරිය ඇරියා වතුර බෝතලේ නැති වෙලා සති දෙකයි. තාමත් හෝඩුවාවක් නැති නිසා හේෂාන් හිටියෙත් ටිකක් විමසිල්ලෙන්. එයා අල්මාරියට එබුණා. ටීචර් අන්න අන්න මගේ වතුර බෝතලේ අර තියෙන්නේ ඒක... මගේ තමයි.. අර අර නංගි අතින් බිම වැටිලා කැඩුණු තැන... ඔව් ටීචර් ඒක මගේ... නොඉවසිල්ලෙන් විකාර ගොඩක් කිව්වා. හේෂාන්ට ටීචර් බොහොම නිවී හැනහිල්ලේ මෙහෙම කිව්වා. ‘‘අනේ ඒක ඔයාගේ වතුර බෝතලේ නෙවෙයි. ඒක මල්ලිගේ’’ මල්ලි කියලා කිව්වේ ටීචර්ගේ පුතාට. එයා ගියේ වෙන ඉස්කෝලෙකට. ඒත් එයා ඉස්කෝලේ ඇරුණම අම්මා ළඟට ආවා. හේෂාන් ඇඬුවා වැඩක් වුණේ නෑ. එයා ගෙදර ඇවිත් අම්මට කිව්වා. වෙන්න බෑ. ගුරුවරු එහෙම කරනවද? අම්මා දහඅතේ කල්පනා කළා. අම්මා මෙහෙම කතාවක් කිව්වා. පුතේ ටීචර්ගේ නැන්දා කෙනෙක් රට ගිහින් ගෙනත් දීපු එක්ක වෙන්න ඇති. එක වගේ බෝතල් එක නෙවයිනේ තියෙන්නේ. අම්මේ නංගි අතින් කැඩුණු තැන මට හොඳට මතකයි. එක මගේ වතුර බෝතලේ. අම්මා නිරුත්තර වුණා. පසුවදා අම්මාත් ඉස්කෝලෙට ගියා හැබැයි වතුර බෝතලේ ගැන කියන්න නෙවෙයි. ඒක බොහොම සුහද හමුවක්. පංතිභර ටීචයි හේෂාන්ගේ අම්මයි. පුතා රැවටිලානේ අපේ පුතාගේ වතුර බෝතලේට. ටීචර් එහෙම කිව්වා. අම්මා ඒ තරම් ගණන් ගත්තේ නෑ. ටීචර් වතුර බෝතලේ පෙන්නුවා. හේෂාන්ගේ අම්මා මොකුත් කිව්වේ නෑ. හැබැයි ඒක හේෂාන්ගේම වතුර බෝතලේ තමයි. ඒක අම්මා දැනගත්තා. හැබැයි මුකුත්ම කිව්වේ නෑ. තමන්ගේ දරුවට අවැඩක් වෙයි කියලා හේෂාන්ගේ අම්මාවත් තාත්තාවත් කාටවත්ම මේ කතාව කිව්වේ නෑ.
“අම්මේ නංගි අතින් කැඩුණු තැන මට හොඳට මතකයි...’’ පොඩි එකා හීනෙනුත් කියෙව්වා. අපට වැදගත් නැති වුණාට පොඩු එවුන්ට තියෙන්නේ පුංචිම පුංචි හීන.
දැන් හේෂාන්ගේ වතුර බෝතලේ තියෙන්නේ පංතිභාර ටීචර්ගේ පුංචි පුතා ළඟ. එයා ඒකට හරි ආසයි. එයාගේ නම තරිඳු. ඉතින් දැන් ඉස්කෝලෙදි මේ වතුර බෝතලේ දකින හේෂාන්ට හරි දුකයි. තරිඳුට හරි සතුටුයි. “අම්මේ නංගි අතින් කැඩුණු තැනමට හොඳට මතකයි’’ ඔව් එයාට ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ. පුංචි හිතේ ඒ කහට ලේසියෙන් යවන්නත් බෑ.
(සත්‍ය සිදුවීමක් ඇසුරිනි. නම් ගම් පමණක් මන:කල්පිතයි.)
- දයා නෙත්තසිංහ
0 comments :
Post a Comment