ඩීසල් ලීටර් 12000 ක් ගං දියට මුසු වීම නිසා එම ඉන්ධන පිරවුම්හල ගං ඉවුරෙන් ඉවත් කිරීමට මාතර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන ඒකමතිකව තීරණය කළේය. එසේ තාවකාලිකව වසා දැමූ ඉන්ධන පිරවුම්හල දේශපාලන බලපෑම් මත යළි එම ස්ථානයේම ස්ථාපිත කිරීමට වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා මැදිහත් වී ඇත. අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2018.02.25 දාතමින් අධ්‍යක්ෂ ජනරාල් මධ්‍යම පරිසර අධිකාරිය අමතන ලද ලිපියේ දැක්වෙන්නේ ඉන්ධන පිරවුම්හල අදාළ ස්ථානයේම ස්ථාපිත කිරීමට යළි සලකා බලන ලෙසයි.
2016 ජනවාරි මස 16 දින නිල්වලා ගඟට ඉන්ධන මුසුවීමත් සමග මාතර දිස්ත්‍රික්කයේ ජල සැපයුම් වහාම අත්හිටවු අතර එම තත්ත්වය දින තුනක් පුරා පැවතියේය. එම අර්බුදකාරී තත්ත්වය හමුවේ දිස්ත්‍රික්කයේ පාසල් පවා වසා දැමුණි. ලක්ෂ පහක පමණ වන ජල පාරිභෝගිකයන් මහත් පීඩාවකට පත් විය. එදිනෙදා කටයුතු මුළුමනින්ම ඇන හිටියේය. රාජ්‍ය ආයතන බැංකු සහ පාරිභෝගික සේවාද අඩාල විය. ජල සම්පාදන මණ්ඩලය මහත් පරිශ්‍රමයකින් දින තුනකට පසුව ජල සැපයුම් ක්‍රියාවලිය යළි ආරම්භ කළේය.
මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන දහයකින් සමන්විත කමිටුව විසින් තීරණය කරනු ලැබුවේ අදාළ ඉන්ධන පිරවුම් හල එම ස්ථානයෙන් ඉවත් කිරීමටය. එම ඉන්ධන පිරවුම්හල යළි එම ස්ථානයේ පවත්වාගෙන යාමට අවසර නිකුත් නොකරන බවටද සහතික විය. තතු එසේ තිබියදී වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කඩිමුඩියේ පිරවුම්හල යළි එම ස්ථානයේම ස්ථාපිත කිරීමට උත්සාහ දැරීම සැක සහිත බවත් යම් හෙයකින් දේශපාලන බලය යොදවා අකුරැස්ස නගරයේ අංක 90 දරන ස්ථානයේ පිහිටි පිරවුම්හල යළි විවෘත කිරීමට පියවර ගතහොත් මාතර දිස්ත්‍රික්කයේ ජල පාරිභෝගිකයන්ගේ පානීය ජල සුරක්ෂිතතාවය අහෝසි වනු ඇති බවටත් මාතර දිස්ත්‍රික් ජල සම්පාදන මණ්ඩලය අනතුරු අඟවයි.
- දයා නෙත්තසිංහ
0 comments :
Post a Comment