එක පාරට ඉරිසිවරයෙක් වගේ පහළ වෙලා මේ කරන්නෙ මාක්ස්ට මඩ ගහන නව ලිබරල්වාදයේ කොන්ත්‍රාත්තුවක් නෙමේද?
එකපාරට නම් නෙමේ. මේක අවුරුදු තිහක් තිස්සෙ ගහක් ගලක් වගේ බලන් උන්නු, ඒ එක්කම කුණාටුවලට මුහුණ දුන්නු එකක්. අනික මාක්ස්ට, බුදුන්ට මඩ ගහන්න කාටවත් බෑ. මඩවලට වඩා ඔවුන් ප්‍රබලයි. බුදුන් කිව්වා වගේ ‘පිළි නොගන්නේ වේ නම් ඒ ඔබටමය.’ මේකෙ තියෙන්නෙ මාක්ස් ගැන මගෙ ආදරය.
කොහොමද මේක ආවෙ.
අපි ඉන්නෙ... මම දකින්නෙ සංක්‍රාන්තික අවධියක මුව විටක. හරියටම අසූව දශකයෙ මුල වගේ. අසූව දශකයෙ ගරිල්ලා සංවිධාන, සන්නද්ධ ව්‍යාපාර පැටව් ගැහුවා වගේ දැන් මතවාදී කණ්ඩායම් පැටව් ගහන තත්ත්වයක් තියෙන්නෙ. මේවයෙ හැබැයි පොදු ලක්ෂණ වගේම සංරචකයන් තියෙනවා. ඒ වගේම ආයුධ නැති වුණත් පුද්ගල ත්‍රස්තවාදය, වෛරී චින්තනය, මේවයෙත් දකින්න පුළුවන්. සන්නද්ධ මනෝරාජික වෙනුවට මතවාදී මනෝරාජිකයන් තියෙනවා. මතවාදී සංරචකයන්වල අඩු වැඩි වශයෙන් පොදු බවක් තියනවා. මේවයෙ ගැලවුම්කාර මෙසායාගේ, දියසේන කුමාරයගෙ හෙවනැලිත් සමහර විට තියනවා. බෝධිසත්වවාදය. අවසානයේ පෝස්ට් මොඩර්න් ජේවීපී ලක්ෂණත් මතු වෙනවා. 80 දශකයෙ දේවල්ම මතවාදී හා න්‍යායික තලයක නැවත පුනරුත්ථානය වෙනවා.
සමහරක ඇදහිලි කල්ලි ලක්ෂණත් තියනවා. ප්‍රතිරෝධතාවන් සහිතව වැඩ කරන එක තමයි දකින්න අඩු. එහෙම පෙනුණත් ඒක කොයිතරම් තිරසරද කියන ප්‍රශ්නෙ තියනවා. ඉතින් මෙතෙන්දි අලුතෙන් හිතන්න වෙනවා. ඉතින් මේ සංගායනාව ඒකට.
එතකොට ජීවිතේට කිසිම සම්බන්ධයක් නැතුව කාටීසියානු විදිහට ලියවෙච්ච එකක්?
දේශපාලනය මට කාටීසියානු නෑ මම හුදු මතවාදී හෝ සංස්කෘතික ක්‍රියාකාරිකයෙක් වුණාට. අනික මේක ආවෙ මම මගෙ ලාලසාවත් එක්ක පොර බදද්දි, මගෙම ආශාව එක්ක මාර පරාජය කරන්න උත්සාහ කරපු වෙලාවක. ඒක මහ විශාල මොළ කුණාටුවක් සෑහෙන කාලෙකින් දිවි නසා ගන්න තත්ත්වයකට මාව ඇදලා දාපු. ජීවිතේම හරිම වියළියි වගේ පොළොවත් එක්ක කිසිම අර්ත් එකක් නැති වෙච්චි මොහොතක. ඒ එක්ක මම කලාව ගැන න්‍යායික පොතක් කරන්න යද්දි වෙච්ච අතුරු නිෂ්පාදනයක් මේක.
ඉතින් මේ ආශා වස්තුව එක්ක පොර බදද්දි මම මගෙ ඉඩ් සංස්කාරය නැවත ගොඩ අදින්න හිතුවා.
ඉඩ් සංස්කාරයක්ද?
සංස්කාර ධර්මතා දෙක අපි වෙන් කළාට ධර්මතා කියන්නෙත් සංස්කාරම තමයි. අවිඥානයත් සවිඥානය විසින් ගොඩනගන ලද්දක්. ස්වභාව ධර්මය කියන්නෙත් සංස්කෘතියේම නිෂ්පාදනයක්. ගැහැනිය කියන්නෙ හුදු ධර්මතාවක් පමණක් නොවෙයි සංස්කාරයක්. ගැහැනිය හදලා තියෙන්නෙ හුදු සොබාදහමම නෙමෙයි පුරුෂ මූලික ක්‍රමය විසින්. ඒවා එහෙම ඉරි ගහලා වෙන් කරන්න බෑ.
මේකෙ මාක්ස් අන්තිමේ යන්නම යනවා නම් එයින් මාක්ස්වාදයේ, වමේ පරාජයක් නෙමේද සලකුණු කරන්නෙ?
කෘතියක අවසානෙ අල්ල ගන්න එක මං හිතන්නෙ බණ කතා සාහිත්‍යයෙන් අපිට ආපු එකක්. පියසීලිත් ඕක හරියට කළා. ‘අහස් ගව්ව’ අරගලයකින් ඉවර වීමත් එක්ක ‘පාර දිගේ’ පරාජිත අවසානය ඇය විවේචනය කළා. ආදර්ශ දෙන, වීරත්වය ගේන කලා කෘති මට නම් පේන්න බෑ. ‘සිදු වන දේ නොව සිදු විය යුතු දේ’ කියන එක සමාජ සත්තා යතාර්ථවාදයේම හූනියමක්. පළවෙනිම දේ කලාවෙ අන්‍යාලාප කියලා දෙයක් තියනවා.
ඔබ මේ මාක්ස්ව විකුණාගෙන කන්න නෙමේද යන්නෙ?
පුළුවන් වුණොත් හොඳයි. ලංකාවෙ පොත් කීයක්ද විකිණෙන්නෙ? මගෙ පොත් දාහක් මෙතෙක් නං එහෙම අවුරුද්දෙන් නම් විකිණිලා නෑ. එතකොට මේකෙ කතෘභාගය කීයද? රුපියල් හැටදාහයි. මේක ලියන්න මට මාස හයක් ගියා වෙන මුකුත්ම නොකර. ඒ කාලෙ මම ජීවත් වුණේ ණයට අරන්. මේක දහදාහක්කත් විකිනුණොත් ඔබ ඔය කියන එක අදාළයි. තාම මහිලා වංශයෙ පන්සීයක් විකුණගන්න බැරි වුණා.
මේකයි විකුණන්න පුළුවන් ඒවා ලියන්න අදහසක් තාම මට ඇවිත් නෑ.
ඔබ ප්‍රචාරය සඳහා යොදාගෙන තිබුණු ස්ත්‍රිවාදීනියන්ගෙ අදහස් දැක්වීම් මේ කෘතියට එරෙහිවයි තිබෙන්නෙ. ඒ වගේම නදීකා බණ්ඩාර මහේෂ් හපුගොඩ ලිවූ ලිපියකට පිළිතුරක් හැටියටත් ඔබට එරෙහිව තමයි කරුණු දක්වලා තිබුණෙ.
ඔව් ඒ ඔවුන්ගෙ කතිකාමය මැදිහත් වීම. ඒකට ඉඩ මම කෘතියෙත් පෙරවදන් දෙකක තියලා තියනවා. නදීකා වගේම ලංකාත් කෘතියට තාක්ෂණික වශයෙන් කොහොම වුණත් ස්ත්‍රී කෝණයෙන් විශාල විවේචනයක් ගේනවා. මම හිතන්නෙ එතැනින් තමා මේ කෘතිය සංවෘත කෘතියක් නොවී නිරාවෘත වියමනක් බවට පත් කරන්නෙ. ඒක කෘතියෙන් පිටත කඩදාසිවලින් පිටත කතිකාමය තලයකට ගෙන යා යුතුයි.
නදීකගෙ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ පැහැදිලිවම පෙනී හිටපු කෙනෙක් විචාරකයෙක් හැටියට.
ඔව්. මම ඇගේ නිර්මාණවලට ඉතාමත්ම කැමතියි. මට ඒවයෙ මගෙ නිර්මාණකරණයෙ තියන පොදු භාවමය තර්කයක් දැනෙනවා ප්‍රවේශ වෙනස් වුණත්. ඉතින් මම මැදිහත් වුණා. ඒ එක්ක අපි අතර ගොඩනැගුණු මිත්‍රත්වයකුත් තියනවා. ඒත් විවේචනය හෝ කතිකාමය මැදිහත්වීමට එය කිස්සේත්ම අදාළ නෑ. මම ඇගේ නිර්මාණවලට කැමතියි කියලා ඇය මගේ නිර්මාණවලට කැමති විය යුතු නෑ. ඈ මාව දැඩිව විවේචනය කළා කියලා එය අපේ මිත්‍රත්වයටවත්, මම ඇගේ නිර්මාණ සම්බන්ධයෙන් තියන බැඳීමට හෝ මැදිහත්වීමටවත් බලපෑමක් නෑ. මං හිතන්නෙ මේල් ගේස් එක පිළිබඳ කාරණයෙදි ඈ ගේන විවේචනය සම්පූර්ණයෙන්ම අදාළයි. මම මතවාදීව හෝ න්‍යායිකව එය කොතරම් කඩා ගත්තත්, මගේ ජීවිතය තුළ ඒ ඒ විදිහට ඉස්මතු නොවුණත් මා තුළ ආත්මීයව ඔඩුදුවලා තියන මේල් ගේස් එක තමයි ඒ එන්නෙ. මේකෙදි මම සවිඥානකව ඒක යොදා ගත්තා වුණත් ඒක හරහා එළියට එන්නෙ මගෙ නිලීනව තියන මේල් ගේස් එක තමයි. එය අතිශය අධිතප්ත එකක්. මම හිතන්නෙ පුරුෂ දේශපාලනය, පුරුෂ දැක්ම හා ස්ත්‍රී දේශපාලනය හා දැක්ම අතර, ස්ත්‍රී හිතවාදී පුරුෂ සාහිත්‍යය හා ස්ත්‍රීමය ලේඛනය අතර පැල්ම සලකුණු කරගන්න මගෙ පොත නිමිත්තක් වේවි කියලා. එතෙන්දි මාව කුඩු වුණාට කමක් නෑ.
එතකොට ඒක මිත්‍රත්වයටත් බාධාවක් නෑ.
කොහෙත්ම නෑ. මිත්‍රත්වය ගැඹුරු වෙන්නෙ තහවුරු වෙන්නෙ ඒවයින්. පිට කහගන්න එකෙන් නෙමෙයි. විසංවාදය සමග, ප්‍රතිවිරෝධය සමග එකට වැඩ කිරීමයි ඇත්තෙන්ම ඕනෙ. දේශපාලනික කාරණාවක් මිසක් ඒක පුද්ගලික කාරණාවක් නෙමෙයි.
පුද්ගලික මිතුරුකම්, සම්බන්ධකම්වලදි විතරක් නෙමේ පොදු දේවල්වලදිත් එහෙම කවුරුත් වැඩ කරන්නෙ නෑනෙ.
ඒක තමයි ගැටලුව. පුද්ගලික ඇරියස්, කෝන්තර, මඩගැහීම්, අපහාස, චරිත ඝාතන ජනප්‍රිය දේශපාලනයෙ විතරක් නෙමේ ක්ෂුද්‍ර දේශපාලනයෙත් පොදුයි. ඒත් එයින් ගොඩ නැගිය හැකි දෙයක් නෑ. පුද්ගලික දේවල් වෙනම විසඳා ගත යුතුයි. ඒවා පොදු අවකාශයට නොගෙනා යුතුයි. පුද්ගලික දේ දේශපාලනිකයි කියන්නෙ ඔය අර්ථයෙන් නෙමේ. මේක ඇතුළෙ බලුබෙට්ටෙ ඒ කොනද මේ කොනද ගඳ කියලා හොයලා වැඩක් නෑ. කොන් දෙකම ගඳයි. පුද්ගලික දේවල් පුද්ගලික තලයෙදි නැත්තං උසාවියෙ, පොලීසියෙදි විසඳා ගත යුතුයි. මතවාදය කතිකාව කියන්නෙ වෙන එකක්. අනෙකාගේ වැඩ කරන අවකාශය විනාශ කිරීමෙන් නෙමේ ඒවා විසඳාගන්න තියෙන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ ආයතන ගොඩනැගිලා නෑ. අපි විරුද්ධ වෙන්නෙත් හරියට ගොඩ නොනැගිච්ච සිස්ටම් එකකට. ඒකෙන් කියන්නෙ ඒවා ගොඩ නැගේවත්, ගොඩ නගන්න ඕනෙවත්, පයිට් නොකර ඉන්නවාවත් කියලා නෙමේ.
අනුරාගය, ප්‍රේමය, ලිංගිකත්වය කියන්නෙ පවා අපේ අසම්පූර්ණ ගොඩ නැංවීම්. රොහාන් සහ දීප්ති සමාජගත කළ දැනුමත් එක්ක කතිකා අවකාශය ඇතුළෙ පිරිමි ආත්ම ඛණ්ඩනය වුණා. ඒක අපිට පිළිගන්න වෙනවා. අපි තුළ තිබිච්ච ඛණ්ඩනයන් තව තවත් පුඵල් වුණා. මේ ප්‍රශ්නෙට අපි විවිධ විදිහට ප්‍රතිචාර දක්වනවා. ගොඩ එන්න දඟලනවා. අපිට ඒ ප්‍රශ්නෙ ප්ලේස් කරන්නෙ කොහොමද කියලා විසඳා ගන්නෙ නැතුව ආයි මුකුත් කරන්න බෑ.
මාක්ස්ට පුතෙක් දීම ගැන නදීකා කියලා තිබුණා පුරුෂ දේශපාලනය සම්පූර්ණ කිරීමක් කියලා.
ඔව්. මං ඒක හිතලා නොකළත්. ඒක එහෙම තමා අවසානෙදි. මට ඒක ආවෙ ලාංකීය ගර්භාෂය තුළ ලාංකීයත්වයේ මාතෘ බීජයට යුරෝ සම්භාව්‍ය මාක්ස්වාදී බීජය කාලතරණය තුළින් ප්‍රතිසන්ධිවීමෙක් විදිහට. නමුත් පුතෙක් ඉපදීම තුළින් ස්ත්‍රීවාදීව සංකේතවත් වෙන්නෙ මගෙ තියන පැල්ලස විරෝධයේම ප්‍රතිවිරෝධය. නදීකා අහනවා වගේ ඒ දරුවා අපේ අනාගත බලාපොරොත්තුව නම් ඇයි පිරිමි දරුවකු වෙන්න ඕනෙ. ලංකා කියලා තිබුණා සමාජ දේශපාලනික අර්ථයෙන් කෘතිය ඉදිරියෙන් හිටියට ස්ත්‍රිය සම්බන්ධ පසුගාමී අදහස් සමාජගත කිරීමක් කියලා. එක් පසෙකින් ඉදිරියට තබන පියවර තවත් අතකින් අනිවාර්යයෙන්ම පසුපසට තැබෙන්නකි කියන අපෝහකය තමයි මට ඒකෙනුත් පේන්නෙ. හයිසන්බර්ග්ගෙ අවිනිශ්චිතතා මූලධර්මයෙ වගේ. චලිතයයි, දිශාවයි, ස්කන්ධයයි, භාරයයි එකවර ග්‍රහණය කරන්න බෑ වගේ. පරමානුවක ඉලෙක්ට්‍රෝනයක් පරමාණුව තුළ තියෙන්න සම්භාවිතාව වැඩි වුණාට පරමාණුවෙන් පිටත කිලෝමීටර් ගාණක් ඈතින් තියෙන්නත් පුළුවන් කියලා සිද්ධාන්තයක් තියනවා. ඒක ග්‍රහණය කරන්න මිනිසුන්ට අවුරුදු ලක්ෂ ගාණක් යාවි. ඒත් එතකොට ඒක පරමාණුව ඇතුළට ඇවිල්ලා වෙන්නත් පුළුවන්. මං හිතන්නෙ මේ කෘතියෙත් කවච එහෙම තියෙන්නෙ. නදීකාගෙ, ලංකාගෙ විරෝධය කියන්නෙ කෘතියෙම ප්‍රතිවිරෝධතාව. ඒක එළියෙ තියෙන්නෙ අර ඉලෙක්ට්‍රෝනය වගේ වෙන්න පුළුවන්.
ඔබ ඇයි ඔය විදිහට කෘතියට මැදිහත් වෙන්නෙ කතෘ මිය ගියා කියලා පිළිගන්නවානං.
පළවෙනියට මං මේ ඔබ අහන නිසානෙ කියන්නෙ. අනික මං ලිව්වෙ මොකක්ද කියලා මං දන්නෙ නෑ වගේ නූතනවාදී කතාවලින් මේ කෘතිය අනිවාර්යයෙන් ගඟේ යනවා. කෘතියක් කියන්නෙ හුදු අවිඥානය නෙමෙයි. කෘතියෙන් පිට ඉඳන් මැදිහත් වෙන්න වෙනවා.
මහිලා වංශයටත් ඒ ගඟේ යා වුණා. දියුණු රටවල ඇඩ්වර්ටයිසින් විදිහට තමයි මේ වගේ කතිකා වෙන්නෙ. නමුත් එහෙම ප්‍රචාරක කර්මාන්තයක් අපිට නෑ. ඉතින් කතිකාමය මැදිහත් වීමක් වෙන්න වෙනවා. ඒක ලොක් කරන්න වෙනවා. නැත්නම් ඔබ කිව්වා වගේ කෘතිය ප්‍රයෝජනේට ගන්නෙ වෙන වෙන හාල්පාරුවො. ඊළඟට කෘතියක වියමන තියෙන්නෙ කෘතියෙන් පිට. ඒක වියන්න ඕනෙ. හරි නං ඒක නොනවතින වියමනක්. ඒක බාක්තීන් කියනවා වගේ ප්‍රජාතාන්ත්‍රීය සැණකෙළිකරණමය අවකාශයක්. ඒ කියලා මේක මාක්ස්ට විරුද්ධව හරි, පුරුෂ දේශපාලනය තහවුරු කරන්න හරි යොදා ගන්න එකට විරුද්ධ වියමනක් එළියෙ කතිකාමය වශයෙන් හදන්න ඕනෙ.
ඔබ හරිම සබුද්ධිකවනෙ නිර්මාණ කරන්නෙ?
කලාව හදවත ඔස්සේ බුද්ධියට, ආනන්දයෙන් ප්‍රඥාවට කියන එකට මං එදා ඉඳලා කැමති නෑ. මේක වෙන්නැති සමන් වික්‍රමාරච්චි වගේම දීප්තිත් මගෙ කලාවෙ න්‍යායික ස්වභාවයක් ගැන කියන්නෙ. මම නියෝජනය කරන්නෙ ප්‍රඥා මර්ගික කලාව කියන එක. මම කැමති චිත්ත රූප සංකල්ප රූප ගැටීමෙන් මතු වෙන කලාවට. ඒක මගෙ මානසික ස්වරූපයට සම්බන්ධයි. ජීවිතේදිත් මම එහෙමයි. ප්‍රතිවිරෝධය තමා මූලික දේ. මම ලියද්දි ඒක ස්වයං වශීකරණයක්. හිටපු ගමන් මං පිටට ආවට ඇතුළෙ ඉන්නෙ. මම දකින්නෙ ආත්මීය සමාරෝපනයක් එක්ක. අයින්ස්ටයින්ට අංක පේන්නෙ වර්ග මූල විදිහට වගේ මට හැම එකක්ම පේන්නෙ සංකේත විදිහට. නැත්තං ලිංගිකව, න්‍යායික විදිහට. මම මනෝභාවික වෙන්නෙ දරුවා, පෙම්වතියක්, මිත්‍රත්වයක් වගේ දේවල්වලදි. ප්‍රඥා මාර්ගික විදිහට තමයි මම ඇතුල් වෙන්නෙ. ඊට පස්සෙ තමා තදාත්මීය වෙන්නෙ. ඊට පස්සෙ ඒක උමතුවක්. උමතු ප්‍රඥාව කියලා තන්ත්‍රයානයෙ කියන්නෙ මේක වෙන්න ඇති. ඒකෙ භාවමය තර්කයක් තියනවා. අනිත් අයට ඇතුල් වෙන්න අමාරු ඇති. කාරණේ මම අතිශය අනුවේදනීයයි, භාවාතිශයයි අනිත් අතට. මම ඒවගෙ නිර්මාණවලට හරියට අහුවෙනවත්.
මේකෙ තියෙන්නෙ දේශපාලන කතාවක්ද කාම කතාවක්ද?
අපේ දේශපාලනය කියන්නෙ විපරීත කාම කතාවක්. 89 පස්සෙ ඇතිවෙච්ච දේශපාලන විපරීතත්වය තමා මම ගේන්නෙ. මේකෙ විප්ලවවාදියාටයි මෑණියන්ටයි- ඒ කියන්නෙ විප්ලවවාදී පක්ෂෙක හිටපු කාන්තා නායිකාව- බලු පැටියෙක් ලැබෙනවා. ඌව මිනිස්සුන්ගෙ මහත් හරසරට ලක්වෙනවා. සද්ධා මාර්ගික දේවාල වම තමා මේ...
රජක කුලය සහ බීජය පිළිබඳව ඔබේ මහිලා වංශයෙත් තිබුණා. මේකෙ පසුබිම් වන ගම රදාගොඩැල්ල... ඇයි මේ?
ඒක ඇත්තටම ගමක් නෙමේ. ඒක තමා ලංකාව. අපේ රටේ කුල මානසිකත්වය හැම දේශපාලනයක් ඇතුළෙම හැංගිලා තියනවා. ඒක තීරක වැඩ කොටසක් ඉටු කරනවා. බීජය, රාජ්‍ය බලය, දේපල, පුරුෂත්වය, පීතෘ මූලිකත්වය සියල්ල තමා එයින් මතු කරන්නෙ. ඒවා එකක්කත් අපිට පොළවෙ හරියට නෑ. ඒත් දෘෂ්ටිවාදයක් තියනවා. ආදරය, ලිංගිකත්වයට පවා අපිට තියෙන්නෙ දෘෂ්ටිවාදයක් මිසක් ව්‍යුහයන් නෙමේ. බීජයෙ සුජාත බව කියන එකත් එහෙමයි. මේකෙ දරුවන් ගණනාවක් ලැබෙනවා. එකක් අර බලු පැටියා. ඒක තමා විවෘත ආර්ථිකයේ මානුෂික මුහුණුවරත් එක්ක, චන්ද්‍රිකාගේ ආගමනයත් එක්ක, නායකයාගේ අංගහරණයත් එක්ක හිස්ටරික විපරීත ගැහැණියගෙ කුසෙන් ලැබුණ ජනතාවාදී වමේ උරුමය. අනික හාමුදුරුවන්ගෙන් ගමටම ලැබෙන ඌරු පැටව්. මේ ගනින්නාංසෙලගෙ මාගම් සෝලි එක්ක බිහිවෙච්ච ජාතික ආගමික ඌරු පැටව්... උන් තමා හැම තැනම ඉන්නෙ. මේ රට අවුලන්නෙ. හාමුදුරුවන්ගෙනුයි නිළියකගෙනුයි මිනිස් දරුවෙක් උපදිනවා. ආගමිකත්වයයි, විනෝදාශ්වාදන සංස්කෘතියයි, විපරීත ලිංගිකත්වයයි තුනෙන් උපදින ඒ දැරිය ඩිල්ඩෝ ෆැක්ටරියක් දානවා. ඒ වගේම කපු මහත්තයා රොබෝවියක් මිලදී ගන්නවා. අර පුරාකෘතික මෑණියන්ගෙයි, රොබෝවියගෙයි ආත්මීය සම්බන්ධයකින් උපදිනවා රොබෝ දැරිවියක්. රොබෝවිය කියන්නෙ පිරිමියාගෙ ඔළුවෙ ඉන්න තමන්ට ඕනෙ ඕනෙ විදිහට කස්ටමයිස් කරන්න පුළුවන් ගැහැණියක්. පිරිමියාගෙ දැක්මට අනුව අවසානයේ විපරීත ආකාරයෙන් වැඩ කළත්, හිස්ටරික විදිහට පුරුෂ විරෝධී කියලා මතුපිටින් අපි හඳුනා ගත්තත් පුරාකෘතික බවක් සහිත සයිකෝටික ස්ත්‍රියවත් තමන්ට ඕනෙ විදිහටම කස්ටමයිස් කරගන්න බෑ. ඉතින් පිරිමියාට හොඳම දේ රොබෝවියක්. ඒත් ඒකත් විකාරයක් වෙනවා. මේ දෙකෙන් උපදින දැරිවිය මොකක් වේවිද? තාක්ෂණික ධනවාදය තුළ අනාගතයේ බිහිවන පශ්චාත් ස්ත්‍රීවාදී ස්ත්‍රිය කිසිසේත්ම මානවීය බවක් ගන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. ඒ වෙනුවට ඔවුන් පාරමානවිකාවන්. එතෙන්දි තමා මාක්ස්ගෙන් දරුවෙක් උපදින්නෙ. අනාගත බලාපොරොත්තුව. ඒ පිරිමි දරුවෙක් වීම නම් මගෙ අවිඥානය තුළින් වෙච්ච එකක්. ඒ මගේ තුළ තියන පීතෘ මූලිකභාවය වෙන්න ඇති. එතෙන්දි මම ස්ත්‍රීවාදී චෝදනාව එකහෙලා පිළිගන්නවා. නමුත් මම පුද්ගලිකව කොහෙත්ම පිරිමි ළමයින්ට කැමති නෑ. මට කවදාවත් පිරිමි ළමයෙක් ගැන හීන දකින්න බෑ.
ඔබ කාල් යුංග්ගෙ අදහස් එක්ක බොහෝ දුරට සමීප බව පේනවා.
ඔව්. ලංකාවෙ දේවල් හඳුනාගන්න මානව විද්‍යාවයි, යුංගියානු මනෝවේදයයි සෑහෙන්න වැදගත්. මිනිසා කියන සතා ගැන මිසක් මනුෂ්‍යයා ගැන නෙමේ අපිට හඳුනා ගන්න වෙන්නෙ. මේක කැලෑවක්. අපිට ඇති ජාතියක් නෑ. මේක ගෝත්‍රවල අච්චාරුවක්. ආයතනිකව ගොඩ නැංවෙච්ච, විකාශනය වෙච්ච රටක් තේරුම් ගන්න දේවල්වලින් මේක තේරුම් ගන්න බෑ. මේ පොත සත්තු ගැන ලියපු ම්ලේච්ඡ අශිෂ්ට පොතක්. අපිට ෆැන්ටසි කියලා තියෙන්නෙ බාගෙට තෙම්පරාදු වෙච්ච සත්ව ආශයන්. මේකට හරියන්නෙ ආගමික පුරාකෘතික ස්ත්‍රීවාදය මිසක් රැඩිකල් ස්ත්‍රීවාදයවත්, මනෝ විශ්ලේෂණයවත් නෙමේ. ඒත් ඒකවත් මේකට ඇප්ලයි කරන්න බෑ. අපිට සංකල්පීයව මුල් නෑ. ගලාගෙන ආපු ජනශ්‍රැතියක් නෑ. පිටින් හරිම නූතනයි. පැරණි භාෂාව තේරෙන්නෙ නෑ. ඒත් ඇතුළත මානසිකත්වය ඒකමයි. මේ තියන සයිකෝටික බව මනෝවිශ්ලේෂණයෙන්වත්, යුංග්ගෙ විශ්ලේෂණාත්මක මනෝ විද්‍යාවෙන්වත් එකකින්වත් කඩන්න බෑ. විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒත් ස්ත්‍රීවාදී හෝ නූතනවාදී අර්ථයකින් ඇප්ලයි කරන්න බෑ.
ඔබ තනිකරම සිහින උඩයි පදනම් වෙන්නෙ. ඒ මායා යතාර්ථවාදී කියලා හිතලා කරන දෙයක්ද? ඒක යතාර්ථයත් එක්ක සම්බන්ධ නැහැ නේද?
මම එෆ් එම් නාලිකා දෙකක අවුරුදු හයක් විතර සිහින විශ්ලේෂකයෙක් විදිහට වැඩ කරලා තියනවා. රටේ හැම පළාතක්ම, සංස්කෘතියක්ම, පංතියක්ම නියෝජනය වෙන හීන මං දවස ගානෙ අහලා තියනවා. පොදු ජන මනස, සාමූහික අවිඥානය වගේම පුද්ගල අවිඥානය තේරුම් ගන්න ඒ තරම් හොඳ මූලාශ්‍රයක් මට මෙතෙක් ලැබිලා නෑ. සිහින කියන්නෙ විකාර නෙමේ. ෆ්‍රොයිඞ්ගෙ සිහින කල්පිතය අධිසත්තාවාදයේ පදනම. යුංග්ගෙ සාමූහික අවිඥානය, සාමූහික සිහින තමා මායා යතාර්ථවාදය පදනම් වෙන තැන. මගෙ සාහිත්‍යය පෝෂණය කළේ මූලික වශයෙන් ඒ හීනවල තේරුම් අහපු ශ්‍රාවක ශ්‍රාවිකාවියො.
ඔබ ස්ත්‍රීවාදීන් මෑතකදි ඔබට කළ විවේචන දකින්නෙ කොහොමද?
මං හිතන්නෙ ඒවා ප්‍රතිජනනාත්මකයි. විශේෂයෙන් නදීකා ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළා මං ස්ත්‍රීවාදියෙක් නෙමේ බොරු කියන්න එපා කියලා. ඒ මේ පොතේ මේල් ගේස් එකත් එක්ක. අඩු තරමින් ස්ත්‍රීවාදී නැතිනම් මං ස්ත්‍රී හිතවාදී හෝ ස්ත්‍රී විරෝධී නොවේය කියලාවත් මං හිතනවා. සමන් වික්‍රමාරච්චි ස්ත්‍රීවාදීන් කෝ? කියලා අහනකොට මම ‘සමන් මම සිටිමි- මම සමන්’ කියලා පිළිතුරු ලිව්වා. ඒ අතරෙ සාහිත්‍ය විචාරය ඇතුළෙ මම ස්ත්‍රීවාදී කතිකාව ඉදිරියට ගේන්න යම් වැඩ කොටසක් පසුගිය අවුරුදු කිහිපය තුළ කළා. ස්ත්‍රීවාදී දෘෂ්ටියෙන් කතිකාමය වශයෙන් මැදිහත් වෙන කීප දෙනෙක් දැන් ඉන්නවා. සුරේඛා සමරසේන, ලංකා බණ්ඩාරනායක වගේම නදීකා බංඩාර ඉන් කීප දෙනෙක්. මං හිතන්නෙ දැන් ඒ සම්බන්ධයෙන් මගෙ කාර්යභාරය අවසානයි. ඔවුන් ඒ ඉදිරියට ගෙන යාවි. සුරේඛගෙ පොතේ පෙරවදනෙ මං ලිවුවා මෙහෙම...
‘...පසුගිය වසරේ ස්වර්ණ පුස්තකය නියෝජනය වූයේ විකල්ප ගෝත්‍රයේ පිරිමි සාහිත්‍යයේ දශක ගණනාවක උපරිම අස්වැන්නයි. ඉන් අනතුරු මහා සාහිත්‍ය අවපාතයක් අනිවාරණීය විණි. ඒ අවපාතය මැද මෙයට පෙර මතුව වුත් යටපත්ව ගිය ගැහැනු සාහිත්‍ය රැල්ල තවත් පරපුරක ගැහැනුන් අතින් යළි ඇරඹී ඇත. පුරුෂ ලිංග කෙළින් කරගෙන සාහිත්‍ය මදුරා පුරයේ සැරිසැරූ පිරිමින් වෙනුවට පුරුෂ ලිංග සිඳ දමන බෝදිලුමුන් බිහිව ඇත. හෙට දින මගේ නම නොකියන අවයවයත් මොවුන් විසින් සිඳ දමන්නට හැකි බව සැබවි...’
ඒකට ප්‍රේමතිලක පේරුකන්ද ලිව්වා කවුරුන් හෝ ඒ සඳහා ඉදිරිපත් වන්නේ නම් අවශ්‍ය උපකරණ නොමිලයේ ලබා දීමට අපට පුළුවන් කියලා. ඉතින් දැන් කාගෙවත් උපකරණ නැතුව ඔවුන් තමන්ම ඒකට මැදිහත් වෙන එක අතින් මම හිතන්නෙ ඒක ප්‍රතිජනනාත්මකයි.
සංවාදය සහ සටහන - බුද්ධික ගයාශාන්
0 comments :
Post a Comment