
සිය සංගමයේ අවශ්‍යතාව මත අවි හා පතරොම් ගෙන්වා තිබුණද සංගමයට හිමි විය යුතු මුදල් හෝ ඒ සම්බන්ධ වාර්තා හෝ කිසිවක් ශිරන්ත පීරිස් සංගමය වෙත ලබා දී තිබුණේ නැත. ශිරන්ත පීරිස් විසින් කරන ලද එම අක්‍රමිකතා එවකට ජාතික වෙඩි තැබීමේ සංගමයේ ලේකම් සිටි කර්නල් ඩුෂාන් විජේවික්‍රම විසින් අනාවරණ කරගෙන තිබුණි. අවස්ථා කිහිපයකදීම කර්නල් ඩුෂාන් විජේවික්‍රම ශිරන්ත පීරිස් දැනුවත් කර තිබුණේ එකී ලියකියවිලි සංගමය වෙත ලබා දෙන ලෙසයි. එහෙත් එය මඟහැර යාමට ශිරන්ත පීරිස් ක්‍රියා කර තිබුණි. කෙසේ වෙතත් ශිරන්ත පීරිස් විසින් කරන ලදුව තිබූ එකී අක්‍රමිකතා සියල්ල කර්නල් ඩුෂාන් විජේවික්‍රම අනාවරණ කර ගැනීම අවසානයේ පාරාවළල්ලක් වූයේ ඔහුටමය. එහි ප්‍රතිඵලයක් ලෙස අභූත චෝදනා නගමින් කර්නල් ඩුෂාන් විජේවික්‍රමට ජාතික වෙඩි තැබීමේ සංගමයෙන් තහනමක් හා ඔහුගේ අන්තර්ජාතික තරඟ තීරක බලපත්‍රය අත්හිටුවීම සිදුකර තිබේ.
ශිරන්ත පීරිස්ගේ වංචනික ක්‍රියාකලාපයට එරෙහිව කර්නල් ඩුෂාන් විජේවික්‍රම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබුණි. ඒ අනුව ශිරන්ත පීරිස් ජාතික සංගමයට මුවාවෙමින් ක්‍රීඩකයන්ගෙන් මුදල් ගෙන අවි හා පතරොම් ගෙන්වීමේදී හා ඒවා ක්‍රීඩකයන් වෙත ලබා දීමේදී සිදුකර ඇති මූල්‍ය වංචාවන් පිළිබඳව කර්නල් ඩුෂාන් විජේවික්‍රම එකින් එක පැහැදිලිව පෙන්වා දී තිබේ. ඒ අනුව වංචා විමර්ශන ඒකකයෙන් ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ. එක් පැත්තකින් එසේ විමර්ශනයක් සිදු වන විට අනෙක් පැත්තෙන් කර්නල් ඩුෂාන් විජේවික්‍රමට පනවා ඇති ජාතික සංගමයේ තහනම ඉවත් කිරීම හා අන්තර්ජාතික තරඟ තීරක බලපත්‍රය නැවත ලබා දීම සම්බන්ධයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහභාගිත්වයෙන් පරීක්ෂණයක් සිදුවෙයි. එය ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් 26 වැනි දින සිටය.
එම පරීක්ෂණයන්ගෙන් කර්නල් ඩුෂාන් විජේවික්‍රම වරදක් කර නොමැති අතර ජාතික වෙඩි තැබීමේ සංගමයේ තහනම පැනවීමේදී හා අන්තර්ජාතික තරඟ තීරක බලපත්‍රය අත්හිටුවිමේදී නිසි අයුරින් පරීක්ෂණයක් නොකරන ලද බවට සනාථ වූ අතර ජාතික වෙඩි තැබීමේ සංගමයේ වත්මන් ලේකම් ප්‍රදීප් එදිරිසිංහ හා සභාපති ශිරන්ත පීරිස් පිළිගෙන ඇති බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ජාතික වෙඩි තැබීමේ සංගමයට ලිඛිතව දන්වා ඇත. ඒ අනුව තහනම ඉවත් කිරීමට හා අන්තර් ජාතික තරඟ තීරක බලපත්‍රය නැවත ලබා දීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ජාතික සංගමයට දැනුවත් කර තිබේ. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ජාතික වෙඩි තැබීමේ සංගමයට අවස්ථා පහකදී ලිඛිතව එම දැනුවත් කිරීම කර ඇතත් ඒ සම්බන්ධයෙන් ජාතික වෙඩි තැබීමේ සංගමය කර්නල් ඩුෂාන් විජේවික්‍රම වෙත කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. මේ සම්බන්ධයෙන් කර්නල් ඩුෂාන් විජේවික්‍රම ක්‍රීඩා අමාත්‍යවරයාද දැනුවත් කර ඇත.
ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් යම්කිසි ජාතික සම්මේලනයකට නැත්නම් ජාතික සංගමයකට සිදුව ඇති වරදක් නිවැරදි කරන ලෙස දැනුම් දී තිබියදී සංගමය එය නොසලකා හරින්නේ නම් ඔවුන් තරඟ තහනමකට ලක් කළ හැකි වෙයි. මේ සම්බන්ධයෙන්ද ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට කර්නල් ඩුෂාන් විජේවික්‍රම කටයුතු කර ඇතත් ඒ කිසිවක් සම්බන්ධයෙන් ඔහුට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.
මේ අතරතුර ජාතික වෙඩි තැබීමේ සංගමයේ වත්මන් ලේකම් ප්‍රදීප් එදිරිසිංහ හා සභාපති ශිරන්ත පීරිස් පරීක්ෂණ මණ්ඩලයේ සභාපති සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර ඇත්තේ කර්නල් ඩුෂාන් විජේවික්‍රමට එරෙහිව ජාතික වෙඩි තැබීමේ සංගමයේ තහනම පැනවීමේදී හා අන්තර්ජාතික තරඟ තීරක බලපත්‍රය අත්හිටුවිමේදී නිසි අයුරින් පරීක්ෂණයක් නොකරන ලද බවට පිළිනොගන්නා බව සඳහන් කරමිනි. කෙසේ වෙතත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ කර්නල් ඩුෂාන් විජේවික්‍රමට එරෙහිව ජාතික වෙඩි තැබීමේ සංගමයේ තහනම පැනවීමේදී හා අන්තර්ජාතික තරඟ තීරක බලපත්‍රය අත්හිටුවිමේදී නිසි අයුරින් පරීක්ෂණයක් නොකරන ලද බවට ජාතික වෙඩි තැබීමේ සංගමයේ වත්මන් ලේකම් ප්‍රදීප් එදිරිසිංහ හා සභාපති ශිරන්ත පීරිස් පිළිගෙන ඇති බවයි.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කළ විමර්ශනයෙන් කර්නල් ඩුෂාන් විජේවික්‍රම වරදක් නොකර ජාතික සංගමයේ තහනමකට හා ඔහුගේ අන්තර්ජාතික විනිසුරු බලපත්‍රය පවරා ගැනීමකට ලක්ව ඇති බව සනාථ වී තිබියදී තවදුරටත් එය නොසලකා හැරීම ගැටලු සහගතය. අවම වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා හෝ මේ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකරන බවට කර්නල් ඩුෂාන් විජේවික්‍රම චෝදනා කරයි.
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය දිනක ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පැවති පරීක්ෂණයක් අවසන්ව පිටතට යමින් සිටි අවස්ථාවේ පරීක්ෂණ මණ්ඩලයේ සභාපති ආර්. බී. වික්‍රමසිංහ වෙත ශිරන්ත පීරිස් සන්ධාන කර ඇත්තේ කර්නල් ඩුෂාන් විජේවික්‍රමගේ බලපත්‍රය නැවත ලබා දීමට නම් ජාතික සංගමයට එරෙහිව ඔහු විසින් පවරා ඇති නඩු ඉවත් කර ගන්නා ලෙසයි. කර්නල් ඩුෂාන් විජේවික්‍රමගේ බලපත්‍රය නැවත කැඳවා ඔහු තහනමකට ලක් කර තිබුණේ වෙනත් චෝදනා මත වන අතර ජාතික සංගමයට එරෙහිව නඩු පවරා ඇති නිසා නොවන බව කර්නල් ඩුෂාන් විජේවික්‍රම පැහැදිලි කර තිබේ. වෙඩි තැබීමේ සංගමයේ වත්මන් සභාපති ශිරන්ත පීරිස් කර්නල් ඩුෂාන් විජේවික්‍රමගේ බලපත්‍රය නැවත ලබා නොදීමට හේතුව ඔහුට එරෙහිව නඟා තිබූ චෝදනා මත නොවන අතර ප්‍රශ්නය ඇත්තේ නඩු ඉවත් කර නොගැනීම බව දැන් තහවුරු වී ඇත.
ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ කතා කිරීමට ප්‍රථම දැන් නිලධාරීන්ගේ සැබෑ ස්වරූපයන් අනාවරණ කර ගැනීම වැදගත්ම කාරණය බව මෙවන් සිදුවීම් තුළින් මනාව පැහැදිලි වෙයි.
ආශිකා බ්‍රාහ්මණ








0 comments :
Post a Comment