හාමුදුරුවරු දෙන්නෙක් දුර ගමනක් යද්දී ගඟකින් එතෙර වන්නට සිද්ධ වෙනවා. ඒ කාලේ පාලම් බෝක්කු නෑනේ! ගඟට බැහැලා ඇවිදගෙන තමයි යන්න වෙන්නේ. එදා ගඟේ වතුර ටිකක් සැරයි. එතෙර වන්නට ආ ගැහැණු කෙනෙක් ගඟට බහින්නට බයේ කවුරුහරි එනකන් බලං ඉන්නවා, උදව්වක් ඉල්ලා ගන්නට. මේ බව දැනගත් ලොකු හාමුදුරුවෝ ගැහැණු කෙනාව කරේ තියාගෙන ගඟ තරණය කරලා එහා ඉවුරෙන් ඇයව බිමින් තියලා තමාගේ ගමන දිගටම කරගෙන යනවා. මේ තමයි කතාවේ පළමු කොටස. ඇත්තම කිව්වොත් කතාව එතැනින් ඉවරයි! ඒත් අපි බලාගෙන ඉන්නවා, 'ඉතින්?', 'ඊට පස්සේ මොකද වුනේ?'.. අපිට දැනගන්නම අවශ්‍ය වෙනවා එතැනින් පස්සේ සිදු වුනේ මොකක්ද කියලා! ඇයි එහෙම වෙන්නේ? අපි එකිනෙකාට හැකි වේවිද තම තමා තුලට ගිහින් සොයා බලන්නට ඉන්පසු සිදු වූ දේ සොයා බැලීමේ මේ අවශ්‍යතාවය කුමක්ද යන්න?
මේක මම කියද්දීම කෙනෙක් කියනවා, 'අපි කතාවේ ඉතිරි ටික දන්නවනේ, ඒකයි'.. හොඳයි, එහෙමනම් අපි කතාවේ ඉතිරියට යමුකෝ.
ටික දුරක් ඇවිද ගිය පසු පොඩි හාමුදුරුවෝ හදිසියේම අවසර ඉල්ලනවා ප්‍රශ්නයක් අහන්නට. ලොකු හාමුදුරුවෝ අවසර දෙනවා. 'ඔබ වහන්සේ ඒ කළ වැඩේ වැරදියි නේද?' පොඩි හාමුදුරුවෝ අහනවා. 'මොකක්ද මම කළ වැඩේ පොඩි තැන? මම ගමණක් යමින් සිටිනවා', ඒ ලොකු හාමුදුරුවන්ගේ පිළිතුර.. තව ටිකක් දුර යනවා. 'ඇය කර මතින් ගෙන යාම' පොඩි හාමුදුරුවෝ නැවත කතා කරනවා. නැවතී තමන්ගේ කර දෙපස බලන ලොකු හාමුදුරුවෝ, 'කෝ? කවුරුන්ද? කිසිවෙක් මා කර මත නැහැ නොවේද?'... 'ඔබ ඇය කරමතින් ගෙනැවිත් ගඟින් මෙගොඩ තබා ආවා'. 'ආ... මා ඇය එතැන තබා මගේ ගමන යමින්, දැන් කොතෙක් දුර ආවාද? පොඩි තැන තවමත් ඇය ඔසවාගෙනද?' මේ පිළිතුරෙන්/ප්‍රශ්නයෙන් පසු කිසිත් කතාවකින් තොරව දෙදෙනා ගමන අවසන් කරනවා.
දැන් අපිට කතාවේ පළමු කොටසින් පටන්ගත් අපේ සාකච්ඡාවට හැරී යා හැකියි. පොඩි හාමුදුරුවන්ට මෙන්ම අපට ද මෙම කතාව පළමු කොටසින් ඉවර කරන්නට නොහැකි වූයේ මන්දැයි විමසීම... ඇත්තටම එහෙම වෙන්නේ ඇයි? හිස්ව හා විවෘතව කිසිවක් දෙස බලන්නට අපට නොහැකි වීම. කතාවේ පළමු කොටස අසා අවසන්වන විටම අපේ මනසේ බොහෝ සිතිවිලි ප්‍රමාණයක් ඇතිවෙනවා, අපි දන්නා චිත්‍ර කිහිපයක් ඇඳෙනවා. හාමුදුරු කෙනෙක් හා ගැහැණියක් කියද්දීම ඒ ඇය පිළිබඳව තැන්පත්ව ඇති තොරතුරු ගබඩාවක්ම වැඩ පටන් ගන්නවා. හපොයි! සිල්වත් බව රැකීම සඳහා ඇතිකරගත් නීති, විනය! මේවාට හානියක් නේද? අප තුල ප්‍රශ්න මතුවෙනවා. ඊළඟට ගැහැණිය! ගැහැණු කවුරුද වරදේ නොබැදෙන, ගින්දරයි පුළුනුයි ළං කරන්න හොඳ නැහැ, ඇයි ඒ ගැහැණිය ඔය ගමන තනිවම යන්නට ආවේ?, හාමුදුරුවන්ට තිබුනේ අහක බලාගෙන යන්න, හාමුදුරු කෙනෙකුට කොහොමත් වටින්නේ නැහැ ඒ වැඩේ, හාමුදුරුවන්ගේ රාගී සිත නැවත නැගී ආවා වත්ද?, හාමුදුරුවන්ට සිවුර හැර යන්නට සිත්වීද, ගැහැණු ඔහොමමයි, අර අපූරුවට හිටි හාමුදුරුවන්ට වෙච්ච කරදරේ!, බුදුන්ටත් ආවා ඔය වගේ කරදර.... ඔන්න ඔය වගේ කෙළවරක් නැති සිතිවිලි දාමයක් ගලනවා. නතර කරගන්න දන්නේ නැති.
ඉතින්, පොඩි හාමුදුරුවෝ බොහෝම සංයමයෙන් අපි වෙනුවෙන් කතාවට දෙවැනි කොටසක් එකතු කරනවා. පොඩි හාමුදුරුවනුත් ඉන්නට ඇත්තේ අපේ තත්ත්වයේමයි. අපි හැමෝටම නොහැකි වී තිබෙනවා මෙතැන මේ මොහොතේ සිදුවීම ඒ සිදුවීම පමණක් ම ලෙස ගන්න, එහි සුන්දරත්වය දකින්න, එය විඳින්න.. අපි හැම සිදුවීමකටම ගබඩා කොට ඇති අපේ පරණ දැනුමක් එකතු කරනවා. හැබැයි අපි මොහොතකටවත් නතරව විමසා බලන්නේ නැහැ මේ දැනුම හැමවිට නිවැරදිද කියලා. කිසිම දෙයක් වෙනස් නොවී නොපවතී යන කාරණය පවා අපට අමතක වෙනවා. ඒ නිසාම අපි අලුත් නොවී පරණ වෙලාම ඉවර වෙලා යනවා.
ඒත් මේ ලොකු හාමුදුරුවන්ගේ තත්ත්වය වෙනස්. ඔහු අපේ තත්ත්වය පසුකොට ආ අයෙක්. ඔහු 'මෙතැන' 'මේ මොහොතේ' ජීවත්වන්නෙක්. මේ මොහොතේ ජීවත්වන අයෙකු තමා මුහුණ දුන් සියල්ල කරතබාගෙන යන්නේ නැහැ. තමා අලුතින් මුහුණ දෙන දේ කෙරෙහි අතීත දැනුම එකතු කරන්නෙත් නැහැ. ඒ නිසාමයි ඔහුට ඉවුරේ සිටි ගැහැණිය කරේ තබාගෙන යාම උභතෝකෝටිකයක් නොවූයේ. ඔහුට ඔහු ඔසවාගෙන පැමිණියේ ගැහැණියක්ය යන කාරණය පවා වැදගත් වන්නේ නැහැ. එතැන සිටියේ ඔහුගේ උදව් බලාපොරොත්තු වූ ජීවියෙක් පමණයි.
අපෙන් කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් අපිට කොතෙක්නම් දේ සිතන්නට තිබෙනවාද? උදව්ව කිරීමට පෙර මොන මොන කාරණා කිරා මැන බලන්නට වෙනවාද? අවසානයේ අපිට කිසිවෙකුට කිසිම උදව්වක් කල නොහැකිවන තරමටම අපේ දැනුම ගබඩාව බලවත් වන්නේ නැතිද? උදව්වක් කිරීම පසෙක තැබූවත් මනුස්ස ගනුදෙනුවකදී පවා මේ ඔසවාගෙන, කරතබාගෙන යන මතකයන් කොතෙක්නම් අපව සීමා කරනවාද? පාරේදී මුණගැසෙන යමෙකු 'හෙලෝ' කිව්වොත් ඒ කෙනා ගැන අප අසා ඇති සියලුම දේ කඩිමුඩියේ මනස හරහා ගොස් අපගේ ප්‍රතිචාරයන් පාලනය කරනවා නොවේද? ඒ කෙනා නොදන්නාම අයෙකු වුවත් ඒ අයගේ පෙනුම, ඇඳුම, ගැහැණු පිරිමි බව විසින් අපගේ දැනුම ගබඩාවේ දත්තයන්ට ආමන්ත්‍රණය කරනවා නොවේද? මේ සියල්ල සැමවිට ඉතා නිවැරදි බව අප විශ්වාස කරනවා නොවේද? යමෙකු පිළිබඳ කියවීම ඉතිහාසයේදී හරි වූවත් මේ මොහොතේදීත් එම කියවීමම නිවැරදි වේද? ඒ අයට වෙනස් වන්නට ඉඩක් නැතිද? ඇත්තටම මේ සියල්ල සමග අප බිය වන්නේ කුමකටද? අප රැක ගන්නට තනන්නේ කුමක්ද?
අපි අනෙකා ගැන මේ කරනා විග්‍රහයන්ම තවත් අය අපි සම්බන්ධයෙන්ද කරනවාට කිසිම සැකයක් නැහැ.
මම ගැහැණියක්. ඒ මගේ එක අනන්‍යතාවයක් පමණයි. ඒ විතරක් නෙවෙයි, ගැහැණියක් පිළිබඳ සියලුම කියැවීම් මා වූ ගැහැණියට අදාළ නැති බව මම හොඳින් දන්නවා. මොකද මේ සමාජයේ, මේ ලෝකයේ ඇත්තේ ගැහැණිය පිළිබඳව එකම වූ කියැවීමක් නෙවෙයි. සමහරවිට මේ කියැවීම් හේතුවෙන් මට අපහසුතාවනට මුහුණ දෙන්නට පවා සිදු වෙනවා. එහෙත් ඒ කියැවීම් විශ්වාස කරන කෙනා සිතන්නේ 'ඇය ගැහැණියක් බැවින් මේ කියැවීම සම්පූර්ණ නිවැරදි' බවයි.
ඉතින් අපි ගබඩා කොට තබාගෙන ඇති දැනුම හා කියැවීම් කර තබාගෙන ජිවත් වීම නිවැරදි ජීවත් විමක්දැයි අපට අප තුලම නැවත විමසා බැලීමක් අවශ්‍ය වනවා. එතකොට අපිටත් හැකිවෙනවා අර ලොකු හාමුදුරුවෝ වගේ මේ මොහොතේ සම්පූර්ණව ජීවත්වන්නට සහ හැරී නොබලා තමා යන ගමන යන්නට.
සොඳුරු මරණය පෙර ලිපි:
0 comments :
Post a Comment