මිනිස් ජාවාරමට එරෙහි වීදි නාට්‍ය පෙන්වූ තරුණියන් සමූහ දූෂණයක.



මිනිස් ජාවාරමට එරෙහිව වීදි නාට්‍යයක් පවත්වමින් සිටි නැගෙනහිර ඉන්දියාවේ ජාහ්ර්ඛාන්ද් ප්‍රාන්තයේ තරුණියන් පස් දෙනෙකු ගිනි අවි පෙන්වා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර තිබේ.

මොවුන් පිරිස පැහැරගැනීමට ආයුද සන්නද්ධව පිරිසක් පැමිණ ඇති අතර, ඔවුන් බලහත්කාරයෙන්ම මෙම තරුණියන් මෝටර් රථයකට නංවාගෙන, හුදෙකලා ප්‍රදේශයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

පොලීසිය වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන ගියත්, ඔවුන්ට මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.

එම ප්‍රාන්තයේ, ක්හුන්ටි දිස්ත්‍රික්කයේ ඉතා දරුණු ලෙස සිදුවන මිනිස් ජාවාරම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් රාජ්‍ය නොවන සංවිධානයක් සමග සම්බන්ධ වී මෙම තරුණියන් වීදි නාට්‍ය පෙන්වා ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, ඉන්දියාව තුළ මෑත කාලයේ වාර්තා වන ස්ත්‍රී දූෂණ රැල්ලේ පළමු ගොදුරු මෙම තරුණියන් නොවන අතර, 2016 වසරේ පමණක් එරට වාර්තා වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 40,000කි.

මෙහිදී බොහෝ සිදුවීම් වාර්තා නොවන අතර, ස්ත්‍රී දූෂණයක් හෝ අපහරණයක් සිදුවීමත් සමග එය ඊට මුහුණදෙන ස්ත්‍රීයට කැලලක් වීම හේතුවෙන් ඒවා පොලිස් පොතට නොපැමිණෙන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2102 වසරේ දිල්ලියේදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්කිරීමෙන් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම ඉන්දියාව තුළ කාන්තා හිංසනය පිළිබඳ දැඩි කතාබහක් ඇති කර තිබුණද, මෙම සමාජ අභියෝගය ජයගැනීමට තවමත් ඉන්දියාව සමත්ව නැති බව සඳහන් වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment