දයාසිරි කට්ටි පනියි : 16 කණ්ඩායමේ මහින්ද හමුව ලප් තැනම ලොප්.


 
ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අතර ඊයේ (02) සවස පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ සාකච්ඡාවක නොපැවැත්වී තිබේ.

ඒ අනුව 16 කණ්ඩායම සහභාගී වී ඇත්තේ එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පමණි. එම රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී ඇති අතර එස්.බී දිසානායක සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන් දෙදෙනා හැර 16 කණ්ඩායමේ අනෙක් මන්ත්‍රීවරුන් එම රැස්වීමට සහභාගී වී ඇත.

තම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පමණක් ඊයේ සහභාගී වූ බවත් මින් ඉදිරියට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සමඟ කටයුතු කරන බවත් ශ්‍රීලනිපයේ 16 කණ්ඩායමේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවේය.

කෙසේ වෙතත් එස්.බී දිසානායක සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන් ඊයේ සහභාගී නොවීම හේතුවෙන් ශ්‍රීලනිපයේ 16 කණ්ඩායම සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අතර පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ සාකච්ඡාව අවලංගු කළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

එම සාකච්ඡාව ඉදිරි දිනයකදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් එතෙක් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ශ්‍රීලනිපයේ නායකවරයා ලෙස ජනාධිපතිවරයාගේ සාකච්ඡාවලට සහභාගී වනවාද යන්න විමසූ විට චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පැවසූවේ “ජනාධිපතිවරයා විපක්ෂයේ නෙමෙයිනේ ඉන්නේ“ යනුවෙනි.

ඊයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූවේ මේ සතියේ පාර්ලිමේන්තුවේ තිබෙන වැඩ ගැන මූලික වශයෙන් සාකච්ඡා කළ බවත් ආණ්ඩුවට එරෙහිව ගෙන යන උද්ඝෝෂණ පිළිබඳ සාකච්ඡා කළ බවත්ය.

16 කණ්ඩායම එකතු වීම පිළිබඳ විමසීමේදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ “ කණ්ඩායම් ගැන කතා කරන්න එපා. හැත්තෑව ගැන කතා කරන්න. කණ්ඩායම් නෑ. එකම කණ්ඩායමයි ඉන්නේ. “ යනුවෙනි.

නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ධුර ප්‍රමාණය අද සිට 70ක් දක්වා ඉහළ යයි.

මීට අමතරව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් 10 දෙනෙකු ඉදිරි දිනවල තම කණ්ඩායම සමග එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළ අතර ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ප්‍රමාණය 80 දක්වා ඉහළ යාමට නියමිතය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment