ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය අද.



හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සෘජු ලෙස දේශපාලන කටයුතුවලට එක්‌වෙමින් අද (04 දා) ප්‍රථම වරට බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයට පැමිණීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්‌වන පළාත් සභා මන්ත්‍රීවරු එම පක්‌ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට නියමිත අතර එම පළාත් සභා මන්ත්‍රීවරුන්ට පක්‌ෂ සාමාජිකත්වය පිරිනැමීමේ උත්සවය අද (04 දා) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී ගෝඨාභය රාජපක්‌ෂ මහතා විසින් පළාත් සභා මන්ත්‍රීවරුන්ට සාමාජිකත්වය පිරිනමනු ඇත.

තවද විසුරුවා හැර ඇති පළාත් සභා තුන ඇතුළුව පළාත් සභා නවයෙහි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරුන් සියයට 90 ක්‌ පමණ පක්‌ෂ සාමාජිකත්ව ලබාගැනීමට නියමිතය.

එමෙන්ම පක්‌ෂ සාමාජිකත්වය ලබාගැනීමට පැමිණෙන ලෙස එම සියලු මන්ත්‍රීවරුන්ට විවෘත ආරාධනාවක්‌ද කර ඇත.

මෙම අවස්‌ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‌ෂ යන මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ද සහභාගි වීමට නියමිතය.

මේ අතර පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය පක්ෂ කාර්යාලයට පැමිණ දේශපාලන කටයුතුවල නිරතවන්නැයි ආරාධනාවක් සිදුකර තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment