ඊනියා සාකච්ඡා එපා! අවම බස් ගාස්තුව 10ක් දක්වා පහත දමනු : බස් මගීන් ඉල්ලයි.


ඊනියා සාකච්ඡා අනවශ්‍ය බවත් වහාම අවම බස් ගාස්තුව 10ක් දක්වා පහත දැමීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත්  සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය අවධාරණය කරයි.

මේ වන විට රුපියල් 19කින් ඩීසල් මිළ සංශෝධනය වී ඇති බව සඳහන් කරන එම සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

අවම ගාස්තුව 10ක් දක්වා පහත දමනු : සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය

පසුගියදා සිදුකළ ඉන්ධන තෙල් මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වූ අතර ඊට පෙර ඩීසල් ලීටරයක මිල දෙවතාවක දී රුපියල් හත බැගින් අඩුවිය. 

මේ අනුව පසුගිය සමය තුල ඩීසල් ලීටරයක මිල රුපියල් 19කින් (7+7+5) අඩු වී තිබෙන නමුත් බස් ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රමාණවත් අවධානයක් යොමු නොවී තිබීම කණගාටුදායක තත්ත්වයකි. 

මීට පෙර ඩීසල් ලීටරයක මිල රුපියල් හතකින් අඩු වූ මොහොතේදී බස් ගාස්තු සියයට 2කින් අඩු කළ ද එය බොහෝ බස් මාර්ග වල සංශෝධනයක් සිදු නොවුනි. 

බස් ගාස්තු සංශෝධන සූත්‍ර‍ය, ව්‍යවස්ථාවටත් වඩා පැටලීමක් බවට මේ වන විට පත්වී තිබෙන අතර මීට සම්පුර්ණයෙන් ම වග කිව යුතු ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුලු ප්‍රවාහන බලධාරීන් පෞද්ගලික බස් සංගම් ප්‍රධානීහු සමඟ ඊනියා සාකච්ඡාවන් පවත්වමින් මගී ජනතාවගේ අයිතිවාසිකම් පැහැර හරින බවට සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ විශ්වාසයයි.

ඒ නිසා අද (05) සිදු කළ ඊනියා සාකච්ඡාවේ දී බස් හිමියන් සමඟ එකඟ වූ පරිදි බස් ගාස්තු සංශෝධනය දෙසැම්බර් 21 වන තෙක්  කල් නොදමා වහාම ක්‍රියාත්මකවන පරිදි  අවම ගාස්තුව 10ක් දක්වා පහත දැමිය යුතු බවත් සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුලු ප්‍රවාහන බලධාරීන්  මැදිහත් විය යුතු බවත් අප අවධාරණය කර සිටිමු. 

ස්තුතියි,
මීට,
විශ්වාසී,

විමුක්ති දුෂාන්ත,
කැඳවුම්කරු,
සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය

ගැමුණු පරණවිතාන,
ලේකම්,
සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment