ජාතික රෝහලේ ලෙඩ ගොඩක් හදන ජරා කුණු ගොඩක්!
කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ගැනීමට දිනපතාම දහස් ගණනින් රෝගීහු පැමිණෙති. එසේම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහුද වෙති. මේ සෑම රෝගියකුටම ප්‍රතිකාර කිරීමෙන් පසු ඉවතලන අපද්‍රව්‍ය මලුවල දමා රෝහලේම එක් කරයි.
මීට පෙර මෙලෙස එක්වන අපද්‍රව්‍ය රෝහලේ ඇති උඳුනට දමා පුච්චා දැමීය. එහෙත් පසුගිය වසර දෙකහමාරක පමණ සිට මෙම ක්‍රියාවලිය නැවතුණි. ජාතික රෝහලේ එදිනෙදා එකතුවන කුණු එදිනෙදාම පුච්චා විනාශ කිරීම වෙනුවට වෙනත් ප්‍රදේශයකට බැහැර කිරීමට ජාතික රෝහලේ පරිපාලනය ක්‍රියාත්මක කර තිබිණි.
රෝහලේ එදිනෙදා එකතු වන කුණු හා අපද්‍රව්‍ය පිලිස්සූ ක්‍රමය වෙනුවට පිටතට කුණු හා අපද්‍රව්‍ය බැහැර වීමට හේතු වූ කාරණා රෝහල් සේවකයෝද දන්නේ නැත. එහෙත් දැනගන්නට ලැබුණු ආකාරයට කුණු හා අපද්‍රව්‍ය පිටතට ගෙනයෑමට ටෙන්ඩරය ලබා ගත් අයගේ අවශ්‍යතාව සපුරා දීම සඳහා රෝහලේ අපද්‍රව්‍ය පිලිස්සීම නවතා දමා තිබේ. ඊට හේතු ලෙස අදාළ බලධාරීන් පවසා තිබුණේ රෝහලේ තබාගෙන අදාළ කුණු හා අපද්‍රව්‍ය පිලිස්සීමේදී අදාළ පිලිස්සුම් බටය නියමිත උසින් හා ප්‍රමාණයෙන් නොමැති බවයි. එනිසා රෝහල තුළදීම කුණු පුච්චනවා වෙනුවට ඒවා රෝහලින් බැහැර කිරීමට පිඹුරුපත් සැකසිණි.
කෙසේ හෝ අවසානයේ ටෙන්ඩර් පටිපාටියක් මඟින් කුණු ඇදීම සඳහා අයකුට භාර දී ඇත. එහෙත් එම ටෙන්ඩරය ලබාගත් අය නිසි පරිදි එම කාර්යය කිරීමට අපොහොසත් වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස රෝහල් භූමිය තුළ පසුගිය මාස කිහිපයේම කුණු හා අනෙකුත් අපද්‍රව්‍ය ගොඩ ගැසුණි. මේ පිළිබඳව මාධ්‍ය හරහා දැනුවත් කිරීමෙන් පසු කුණු ඇදීම ක්‍රියාත්මක වුවත් දැනට එම කාර්යයද මාස එකහමාරක පමණ කාලයක සිට නැවැතී තිබේ.
කොළඹ ජාතික රෝහලේ කුණු එකතු කරගෙන ගොස් පිලිස්සීමේ ටෙන්ඩරය ලබා ගත් අය එම කුණු පිලිස්සුවේ මුල්ලේරියාව පැත්තට වන්නටය. එහෙත් දිගින් දිගටම රෝහලෙන් ගෙන එන කුණු අතර මිනිස් ශරීර අවයව කොටස්, ඔෟෂධ කවර, එන්නත් කටු සේලයින් බෝතල්, තුවාල සහ සැත්කම්වලින් ඉවතලන දෑ විය. එම අපද්‍රව්‍ය තම ප්‍රදේශයට ගෙනැවිත් පිලිස්සීම ගැන ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල විය. මේ විරෝධතාවද නොතකා කුණු පිලිස්සීම නිසා නීති මඟින් කටයුතු කිරීමටද ප්‍රදේශවාසීහු කටයුතු කළහ.
මේ හේතුවෙන් මුල්ලේරියාව ප්‍රදේශයට ජාතික රෝහලේ කුණු බැහැර කිරීමට නොහැකි වී තිබේ. රෝහල් භූමියේම කුණු පිලිස්සීමත් නතර කර ඇති විටෙක මුල්ලේරියාවට කුණු දමා පිලිස්සීම තහනම් වීමත් සමඟ කොළඹ ජාතික රෝහල් භූමිය තුළ කුණු ගොඩගැසීමට පටන් ගෙන තිබේ.
මේ වන විටත් අදාළ කුණු වෙනත් ප්‍රදේශයකට බැහැර කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නැත. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය හරහා ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී මුතුරාජවෙල ප්‍රදේශයට මේ කුණු ගෙනයෑමට සැලැසුම් කරන බවකි.
එහෙත් එම සැලැසුම් ක්‍රියාත්මක වන තෙක් රෝහල් භූමිය තුළ කුණු ගොඩගැසී තිබේ. දැනට මාස එකහමාරක කුණු මෙලෙස රෝහල් භූමියේ ගොඩගැසී ඇත. මේ ආකාරයට ගොඩගැසී ඇති කුණුවලින් ලොරියක් හෝ දෙකක් ඇදීම සිදු කරයි. දෛනිකව එකතු වන කුණු ප්‍රමාණය දිහා බලන විට එලෙස කුණු ලෝඩ් දෙකක් පමණක් දිනකට ඉවත් කිරීම ප්‍රශ්නයට විසඳුමක් නොවේ.
මුල්ලේරියාව ප්‍රදේශයේ කුණු දැමීමට විරෝධතා පැමිණීමට පෙර දෛනිකව රෝහලෙන් එකතු වන සායනික අපද්‍රව්‍ය නිසි පරිදි ඉවත් කරගෙන තිබිණි. නමුත් මේ වන විට මාස එකහමාරක පමණ කුණු එකතු වී තිබේ.
සායනික කටයුතුවලදී ඉවත් කරන මස් කැබලි, ඇඟිලි කැබලි, සැරව තුවාල බෙහෙත් ආදී දේ මේ නිසා රෝහල් භූමිය තුළ ගොඩගැසී තිබේ. අදාළ මිනිස් අවයව කැබැලි කුණු වීම නිසා දැඩි දුගඳක් එම ප්‍රදේශයේ හටගෙන තිබේ. මේ නිසා කුණු ගොඩ පිහිටි ස්ථානය අවට ගොඩනැඟිලිවල රාජකාරි කටයුතු කිරීමේදී ෙදාර ජනෙල් වසා ගෙන සිටීමටද සේවක සේවිකාවන්ටද සිදුව ඇත.
පසුගිය දිනවල පැවැති වැසි සහිත තත්ත්වය නිසා මේ කුණුවලට ජලය එක් වී කුණු වී තිබෙන බවද වාර්තා වෙයි.
එසේම රෝහලේ හෙදියන් හත් දෙනකුට ඩෙංගු වැලඳී ඇතැයිද වාර්තා වෙයි. එසේ ඩෙංගු සෑදීමට හේතු වී තිබෙන්නේ කුණු පිරවූ බෑග් අතර වතුර රැඳීමෙනි. ඩෙංගු උණ හෙදියන්ට සෑදුණු ආකාරය හෝ ඩෙංගු උණ බෝවීමට හේතු වූ කාරණා ගැන රෝහල් බලධාරීන්ගේ අවධානය තවමත් යොමු වී නැතැයි සමස්ත ලංකා හෙද සංගමයේ වැඩ බලන සභාපති එච්.එම්.එස්. සී. මැදිවත්ත මහතා පවසයි.
මැදිවත්ත මහතා පවසන ආකාරයට අදාළ කුණු තිබෙන තැනට යෑමට පවා අපහසු වී තිබෙන්නේ පණුවන් සෑදී ඇති හෙයිනි. මෙම කුණු ප්‍රශ්නයට ඉක්මනින් විසඳුමක් නොදුන්නොත් මෙමඟින් පිටවන විසබීජ ප්‍රදේශය පුරා පැතිරීමේ අවදානමක්ද තිබේ. රෝහල අසල ඇති ‘නොරිස් කැනල්’ ඇළ මාර්ග පද්ධතියට මෙන්ම ජාතික රෝහලේ කානු පද්ධතියටද මෙම කුණු ගොඩේ ඇති අපද්‍රව්‍ය ගලා යන බව මැදිවත්ත මහතා පවසයි.
මේ නිසා ඉදිරියේදී ලොකු ලොකු ආබාධ පවා අති විය හැකි බව ඔහුගේ අදහසයි. මෙම කුණු ගොඩේ මැස්සන් බෝ වීමද වැඩි වී තිබේ. මේ නිසා ජාතික රෝහල අවට ඇති ආපනශාලාවලටද එම මැසි උවදුරෙන් පීඩා ගෙන දෙයි. ජාතික රෝහලේ 9 වැනි වාට්ටුවේ හෙදියන් තුන් දෙනකු නේවාසිකව ඩෙංගු උණ සෑදී ප්‍රතිකාර ගැනීමද කුණු ප්‍රශ්නය නිසා ඇති වූවක් බවත් චෝදනා එල්ල වෙයි.
මේ ආකාරයට කුණු වෙනත් ප්‍රදේශයකට බැහැර කිරීමට බැරි නම් මීට පෙර පැවැති රෝහල තුළ කුණු පිලිස්සීමේ ක්‍රමය නැවත ස්ථාපිත කිරීම බලධාරීන්ගේ යුතුකම බව මැදිවත්ත මහතාගේ අදහසයි. නමුත් කොන්ත්‍රාත්කරුගේ ක්‍රියාදාමය හමුවේ සිදුවන කුණු ප්‍රශ්නය නිසා පීඩාවට පත්ව ඇත්තේ රෝහල් සේවකයන් මෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගීන්ය. මීට වසර එකහමාරකට දෙකකට පෙර ජාතික රෝහල තුළ මෙවැනි කුණු ප්‍රශ්නයක් තිබුණේ නැත. ඒ නිසා අදාළ කුණු ප්‍රශ්නය දැන් වසංගතයක් බවට හැරෙමින් තිබේ.
මේ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්ව හෝ අදාළ කුණු ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට මැදිහත් වන ලෙස රෝහලේ සේවක සේවිකාවෝ ඉල්ලති.
මෙම කුණු ගොඩ ඉදිරිපිට සෙන් පීටර්ස් හෙද නේවාසිකාගාරය පිහිටා තිබේ. අනෙක් පැත්තට වන්නට 33 වාට්ටුව 35 වාට්ටුව ද තිබේ. එසේම එම ගොඩනැඟිල්ලේම 83,84,85 වාට්ටු පිහිටා තිබේ. කුණු කන්ද තිබෙන තැන ගොඩනැඟිල්ලේ යටම තට්ටුවේ සායන තිබේ. මේ සායන සඳහා දිනපතා රෝගීන් දහස් ගණනක් පැමිණෙති. තවද අපස්මාර රෝගයට ප්‍රතිකාර ලබන රෝගීන්ටද ප්‍රතිකාර කරන්නේ ඒ අසල සායනයකදීය.
එසේම මෙම ස්ථානයේ මිනිස්සු නිතරම ගැවසෙති. ත්‍රිරෝද රථ නිතරම නතර කර තිබේ. රෝගීන් බැලීමට එන අයගේ වාහන නතර කර ඇත්තේද කුණු ගොඩ ආසන්නයේය.
මෙම කුණු ගොඩ ගසා ඇති තැනින් පාරක් තිබිණි. ඒ රෝහල ඇතුළට යෑමටය. එම මාර්ගයද කුණුවලින් වැසී තිබේ. ඒ නිසා මෙම කුණු ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් අවශ්‍යය. මේ වන විටත් කුණු ටොන් 50-60ක ප්‍රමාණයක් ගොඩ ගැසී තිබේ. මේ සියලු කුණු තොග මාස ගණනක සිට ගොඩගසා තිබේ. කුණු බෑගයක් උස්සන විට ජලය ඒවා අතරින් බේරී යයි. ඒ දුගඳක්ද සමඟය. සමහර කුණු බෑග් මීයන් විසින් කා දමා තිබේ. ඒ නිසා මීට විසඳුමක් නොදුන්නොත් ජාතික රෝහලේ කුණු ප්‍රශ්නය වසංගතයක් බවට පත් වනු ඇත.
ජනතා උද්ඝෝෂණයක් නිසා කුණු දහනාගාරයට තහනම් නියෝගයක් වැටුණා- සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ
මේ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විමසුවෙමු.
ජාතික රෝහලේ කුණු ගොඩගැහිලා. ඒ සම්බන්ධව ඔබතුමන්ලා අරගෙන තියෙන ක්‍රියාමාර්ගය කුමක්ද?
මුල්ලේරියාවේ තිබුණා කුණු දහනාගාරයක්. ඒක නිශ්චිතව හදලා තිබ්බා. කොහොම නමුත් ජනතා උද්ඝෝෂණයක් නිසා එතැන කුණු පුච්චන එක තහනම් වුණා. පස්සේ මේ තහනම බලපැවැත්වෙන එක නතර කර ගත්තා. ඒත් එතැනට කුණු දාන්න පුළුවන් වුණේ කෙටි කාලයයි. නැවත තහනම ක්‍රියාත්මක වුණා.
තහනම් නියෝගයක් ආවේ නිසි ලෙස කුණු පුච්චපු නැති නිසා නේද?
නැහැ. පළාත් දෙකේම ප්‍රධාන රෝහල්වල සායනික කුණු දහනය කිරීමේදී ගැටලුවක් ආවා. ජනතා විරෝධයක් ලෙස. දැන් එම අපද්‍රව්‍ය පුච්චන්න වෙන දහනාගාරයක් හදනවා. ඒක හදන්න යම් කිසි කාලයක් ගත වෙනවා. ඒ නිසා දැන් අපි යම් ප්‍රශ්නයකට මැදිහත් වෙලා තියෙනවා.
මීට පෙර රෝහල් ඇතුළෙන්ම එදිනෙදා කුණු පුච්චලා තියෙනවා. ඒ ක්‍රමයට යන්න බැරි ඇයි?
ඒ කියන්නේ ගොඩක් ඉස්සර. ඊට පස්සේ කුණු මහ නගර සභාවට ගත්තා. මහ නගර සභාවට කුණු ගන්න එක නැවැත්තුවට පස්සේ තමයි ඔය ප්‍රශ්නේ ආවේ. ඒ අනුව තමයි මුල්ලේරියාව රෝහල් ඉඩමේ කුණු දාහනාගාරයක් දැම්මේ. අපේ තියෙනවා මෙටමයිට්ල් කියලා ක්‍රමයක්. අපි ඒවාටත් තෝරලා ප්‍රවාහනය කරනවා. මීට අමතරව ඉන්ජෙනරේටස් කිහිපයක් තියෙනවා. ඒවාටත් කුණු ප්‍රවාහනය කරනවා. ඇතැම් රෝහල්වල කුණු සීල් කරලා තාවකාලිකව ගබඩා කරලා තියෙනවා දහනාගාරය හදනකම්. සමහර වෙලාවට දවසම එකතුවෙන කුණු ඔක්කොම ප්‍රවාහනය අමාරුයි.
රෝහල් කාර්ය මණ්ඩලයට ඩෙංගු හැදිලා, කුණු ගඳ ගහනවා, මැස්සෝ එනවා ආදී චෝදනා සේවකයන්ගේ පැත්තෙන් එල්ල වෙනවා. මේකට ඉක්මන් විසඳුමක් නොදුන්නොත් වසංගතයක් වෙයිද?
කුණු කොහොමත් හොඳ නැහැ. ඩෙංගු හැදුණත් නැතත් කුණු හොඳ නැහැ. ඇත්තටම තියෙන්නේ අර්බුදයක්. මට හිතුණා කියලා හරි ලේකම්ට හිතුණා කියලා හරි කාටහරි හිතෙන පළියට දැන් මේක කරන්න බැහැ. මොකද උසාවියෙන් තහනම් නියෝගයක් දීලා තියෙනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා නිශ්චිත විසඳුමක් එනකම් කළමනාකරණය කරගන්න. දවස ගාණේ ටිකක් අස් වෙනවා. ආයි ටිකක් ගොඩ ගැහෙනවා.
දවසකට කුණු ලෝඩ් දෙකක් පිටකළාට ඒක ප්‍රශ්නයට විසඳුමක් වෙන්නේ නැහැ නේද?
ජාතික රෝහලේ විතරක් නෙවෙයි අනෙක් රෝහල්වලත් කුණු ප්‍රශ්නය තියෙනවා. එතකොට ඒ අය ඒ ඒ විදියට කුණු ගෙනියනවා. ඒ අය අරගෙන යන්නේ එයාලට ගෙනියන්න පුළුවන් ප්‍රමාණය. අපි තාවකාලිකව දුරට කුණු ප්‍රවාහනය කරනවා.
ඒ කියන්නේ මුතුරාජවෙල දහනාගාරය හදනකම් මේකට විසඳුමක් නැහැ කියාද?
ඔව්. හරි විසඳුමක් ලැබෙනකම් අමාරුවෙන් තමයි මේ වැඩේ කරන්නේ. මම දන්නෙ නෑ එතැනින් එහාට කරන්න දෙයක්. එහෙම කරනවා නම් අපට අමුතු දෙයක් පහළ වෙන්න ඕන. අපි කුණු අස්කරවනවා.
[සම්පත් සමරවික්‍රම – මව්බිම]
0 comments :
Post a Comment