2019 ජනවාරි මස සිට අප්‍රේල් මස 30දා දක්වා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ හැත්තෑහය දහස් පන්සියපනස් දෙකෝටියක (රුපියල් බිලියන 1,765ක) මුදලක් ඉල්ලා අතුරු සම්මත ගිණුම මුදල් ඇමැති මංගල සමරවීර (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. රුපියල් කෝටි අනූ නවදහසක් (බිලියන 990ක්) ණය වශයෙන් ලබා ගැනීමට අදහස් කරන බවද එම යෝජනාවෙහි සඳහන් වේ.
අතුරු සම්මත ගිණුමට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති, ආගමික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ සඳහා රුපියල් කෝටි 3,100ක මුදලක් වෙන් කර ඇත.
අගමැති වැය ශීර්ෂය වෙනුවෙන් රුපියල් කෝටි 50ක්ද, ජනාධිපතිවරයා සඳහා රුපියල් කෝටි 439ක්ද වෙන්කර ඇත.
ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 924කි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 1,266ක් වෙන් කර ඇත.
අතුරු සම්මත ගිණුම යටතේ වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයටය. එම මුදල රුපියල් කෝටි 5,772කි.
අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 3,053ක් සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 1,980ක් වෙන්කර ඇත.
විපක්ෂ නායක කාර්යාලය සඳහා රුපියල් දෙකෝටි අසූ දෙලක්ෂයක් සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය සඳහා රුපියල් දෙකෝටි හැට එක් ලක්ෂයක් වෙන් කර ඇත.
පාර්ලිමේන්තුව සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 91කි.
මැතිවරණ කොමිෂන් සභාව සඳහා රුපියල් කෝටි 25ක්ද, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 125ක්ද, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට රුපියල් කෝටි 113ක්ද, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 2,776ක්ද, කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 289ක්ද වෙන්කර තිබේ.
නිවාස හා ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 423ක්ද කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 303ක්ද, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 990ක්ද වෙන් කර ඇත.
මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 1,516ක්ද, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 119ක්ද වෙන්කර ඇති අතර සෙසු අමාත්‍යාංශ සඳහාද අතුරු සම්මත ගිණුම යටතේ ඉදිරි මාස හතර සඳහා මුදල් වෙන්කර ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment