අය-වැයට පෙර තීන්දුවක්: ශ්‍රීලනිපයේ 17ක් සාකච්ඡාවක.


අය-වැය ඉදිරිපත් කිරීමට නියමිත මාර්තු 05 වැනිදාට පෙර ජනපති සමග සිටින ශ්‍රීලනිප 17 දෙනා තම දේශපාලන අනාගතය පිළිබඳ පැහැදිලි තීන්දුවක් ගැනීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් රාවයට වාර්තා වේ.

ඒ අනුව එම 17 දෙනාම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව හා එක්වීම හෝ ඉන් බහුතර පිරිසක් එම තීන්දුව ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

මෙම කණ්ඩායමට අයත් වන මහින්ද අමරවීර මන්ත්‍රීවරයා, එජනිස ලේකම් ධුරය දරන අතර නිමල් සිරිපාලද සිල්වා මන්ත්‍රීවරයා එහි උප සභාපති ධුරය දරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි සභාපති ධුරය දරන අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ආණ්ඩුවට එක්වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබා නොදෙන බවය.

එජාප ජ්‍යෙෂ්ඨයකු පැවසුවේ ශ්‍රීලනිප කණ්ඩායමට, ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා කර ඇති බවය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගද මේ සඳහා මැදිහත් වී ඇති අතර දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාද සාකච්ඡාවලට එක්වී තිබේ. මහින්ද අමරවීර මහතා මෑතකදී පැවසුවේ, එජනිස ආණ්ඩුවෙන් ඉවත් වූ විට එම සන්ධානය සමග එක්වන බවට, පොහොට්ටුවට ගිය මන්ත්‍රීවරුන් දුන් පොරොන්දුව ඉටු කළ යුතු බවය. ශ්‍රීලනිප 17 කණ්ඩායම, පොහොට්ටුව සමග එක්වීමට අකමැති නිසා ඔවුන්ට ආණ්ඩුව හා එක්වී දේශපාලන අනාගතය තහවුරු කරගත හැකි බව පියසේන ගමගේ මන්ත්‍රීවරයා රාවයට පැවසීය.

මේ අතර බ්‍රහස්පතින්දා (03) සවස රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳවද සාකච්ඡාවීමට නියමිතව තිබිණි.

(රාවය)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment