මරණ දණ්ඩනයට ප්‍රමාදය: ජනාධිපති ලේකම් කාර්යාලය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම හේතුවෙන්  වරදකරුවන්ව මරණ දඩුවම නියමව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් 18කට මරණ දඩුවම ලබාදීම සම්බන්ධ නීතිපති නිර්දේශ ජනාධිපති කාර්යාලයට යොමුකර තිබුණද ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යාංශයට කිසිදු දැනුම්දීමක් මේ වනතුරු සිදුකර නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන්ට මරණ දඩුවම ලබාදිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමෙන් පසුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධ තොරතුරැ ජනාධිපති කාර්යාලයට යොමුකළ බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (05දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.

මරණ දඩුවම නියමව ඇති මෙම පුද්ගලයින් 18 දෙනාට මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් නීතිපති නිර්දේශ ජනාධිපති කාර්යාලයට යොමුකිරීමෙන් පසුව ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යාංශයට දැනුම්දීමක් සිදුකර තිබේද යන්න පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදී අතුරැ ප්‍රශ්නයක් මතුකරමින් අමාත්‍යවරියගෙන් විමසීය. මේ වනතුරැ එලෙස දැනුම්දීමක් සිදුකර නොමැති බව එහිදී අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මේ වනවිට පුද්ගලයින් 1249 ක් මරණ දඩුව නියමව බන්ධනාගාර ගතව සිටින බවත් ඒ අතරින් පුද්ගලයින් 873ක් අභියාචනා ඉදිරිපත් කර ඇති බවද තලතා අතුකෝරළ අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට පැවසුවාය.

මෙලෙස මරණදඩුවම නිර්දේශ වුවන් අතුරින් පුද්ගලයින් 48ක මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකරැවන් වී ඇති බවත් ඉන් 30ක අභියාචනා සිදුකර ඇති බවද ඉතිරි පුද්ගලයින් 18   සම්බන්ධයෙන් සියළු තොරතුරැ මේ වනවිට ජනාධිපති කාර්යාලයට යොමුකර ඇති බවද අමාත්‍යවරිය පැවසුවාය.

2010 වසරේ සිට මේ දක්වා මරණ දඩුවම නියමවු සිරකරුවන් කිසිවෙකුට ජීවිත සමාව  ලබාදී නොමැති බවත් අතුකෝරළ අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment