හිමිකම් නිකුතුවක් නිසා සම්පත් බැංකුව කොටස් වෙළෙඳපොළ තුළ කඩා වැටෙයි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බැංකු සමාගමක් වන සම්පත් බැංකුව, නව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 89,006,863 ක්, හිමිකම් කොටස් නිකුතුවක් හරහා නිකුත් කිරීමට ඊයේ (28) පැවති අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව දැනුම් දී සිටී.
මෙහිදී දැනට පවතින ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 23 කට, නව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 07 ක් හිමිවන පරිදි මෙම හිමිකම් කොටස් නිකුතුව සිදුකිරීමට අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එහිදී එක් කොටසක් නිකුත් කිරීමට තීරණය කර ඇත්තේ රු. 136.00 ක් බැගිනි.
ඒ අනුව රු. 12,104,933,368.00 ක මුදලක් මෙම හිමිකම් නිකුතුව හරහා සම්පාදනය කර ගැනීමට නියමිතය.
කෙසේ වෙතත් මෙම හිමිකම් කොටස් නිකුතුව නිවේදනය කිරීමත් සමඟම අද (01) දින සම්පත් බැංකුවේ කොටස් මිල දැවැන්ත කඩා වැටීමකට ලක්විය. අද මධ්‍යහ්නය වන විට සම්පත් බැංකුවේ කොටසක මිල රු. 197.90 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට වඩා රු. 34.00 ක හෙවත් 14.66% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ.
මෙය කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යාම කෙරෙහිද විශාල වශයෙන් බලපෑ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 47.97 කින් ද, S&P SL20 දර්ශකය ඒකක 91 කින් ද දිනයේ පළමු භාගය තුළ දී පහළ යන ලදී.
වසර 5 කදී අඩුම තැනට සියලු කොටස් පැමිණෙයි
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL 20 දර්ශකයේ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ පහළ ගිය වැඩිම ඒකක ගණන අද (01) දින වාර්තා විය. මේ අනුව අද දිනය තුළ දී S&P SL 20 දර්ශකය ඒකක 110.87 කින් පහළ ගිය අතර එය 2014 ඔක්තෝබර් 13 දින වාර්තා වූ ඒකක 95.47 ක පහළ යාමෙන් පසු තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම කඩා වැටීම ලෙසින් සටහන් වේ. පෙර දිනයට සාපේක්ෂ S&P SL 20 දර්ශකය අද දින -3.72% කින් පහළ යන ලදී.
මේ අතර අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ද ඒකක 61.98 ක පහළ යාමක් වාර්තා කළ අතර ඒ අනුව දිනය අවසානයේ දී එහි අගය ඒකක 5,754.31 ක් ලෙසින් වාර්තා විය.මෙය පසුගිය වසර 5 ඇතුළත සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ අවම අගය ලෙසින් වාර්තා වේ.
අද දින S&P SL 20 දර්ශකය ගණනය කිරීමට යොදා ගන්නා සමාගම්වලින් කොටස් මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ සමාගම් දෙකක පමණි. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ සටහනකි.
කොටස් වෙළෙඳපොළේ අද දින මෙලෙස විශාල පහළ යාමක් වාර්තා වීමට ප්‍රධාන වශයෙන් හේතුවූයේ සම්පත් බැංකු සමාගමේ කොටස් මිල දැවැන්ත ලෙස පහළ යාමයි. දිනය තුළ දී සම්පත් බැංකුවේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටසක මිල රු. 36.20 කින් පහළ ගිය අතර එහි අවසන් ගනුදෙනු මිල රු. 195.70 ක් ලෙසින් සටහන් විය. මෙර පෙර දිනයට වඩා 15.61% ක කඩා වැටීමකි.
සම්පත් බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද හිමිකම් නිකුතුව මේ සඳහා හේතු වූ බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.
මේ තත්ත්වය තුළ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බැංකු සමාගම්වලින් යූනියන් බැංකුව, සෙලාන් බැංකුව හා අමානා බැංකුව යන සමාගම් හැර සෙසු සියලු බැංකු සමාගම්වල කොටස් මිල ගණන් අද දිනයේ දී පහළ යන ලදී.
0 comments :
Post a Comment