හිටපු විනිසුරුවරියගේ සැමියාගේ ඉඩමේ මර උගුලෙන් අලියෙක් මරුට


ඉහළ අධිකරණයක විශ්‍රාමලත් විනිසුරුවරියකට අයත් ඉඩමක නීති විරෝධී ලෙස විදුලි වැටක් ඇද දුර්ලභ ගණයේ කඳුකර වන අලියකු මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධව වනජීවී නිලධාරීන් විසින් එක් පුද්ගලයකු
සැකපිට ඊයේ (07දා) අත්අඩංගුවට ගන්නා ලදී. පසුගිය 4 වැනි දින රාත්‍රි මෙම අලියා විදුලි සැර වද්දවා මරා දමා තිබූ අතර ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මධ්‍යම පළාත භාර වනජීවී පශු වෛද්‍ය ඩී.එම්. අකලංක මහතා විසින් 06දා පවත්වා තිබිණි.

එම විනිසුරුවරිය ඇයගේ
ස්වාමිපුරුෂයාගේ නමින් ලබාගෙන ඇති මෙම ඉඩම පිහිටා ඇත්තේ හපුතලේ, හල්දුම්මුල්ල, වෑලිය වල්මීතලාව ප්‍රදේශයේය. සොරගුණේ කතරගම දේවාලයට අයත් නින්දගම් ඉඩම්වලින් රබර් වගා කිරීම සඳහා යැයි පවසා අනූනව අවුරුදු බදු පදනම යටතේ අක්කර 25ක් වූ මෙම විශාල ඉඩම ඇය විසින් ලබාගෙන ඇත්තේ මීට වසර කිහිපයකට ඉහතදීය.

ඉඩම ලබාගෙන වසර ගණනාවක් ගත වී ඇතත් එය කිසිදු වගාවක් සඳහා යොදාගෙන නැති බවත් ඉඩමෙහි නිවෙසක් ඉදිකර ඇති අතර එහි නීත්‍යනුකූල නොවන ආකාරයට ප්‍රධාන විදුලි සැපයුම හරහා සම්බන්ධතාව ලබාදෙමින් විදුලි වැටක් ඇද තිබූ බවත් වනජීවී නිලධාරීහු සඳහන් කරති. මේ වනවිට පොලිසිය විසින් විදුලි වැට ගලවා ඉවත් කර ඇති නමුත් සාක්ෂි විනාශ කළ නොහැකි බවද තමන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවද වනජීවී නිලධාරීහු කියා සිටිති.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 08දා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත භාර සහකාර අධ්‍යක්ෂ ඩී.එම්. වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවේ.

-සපුමල් ජයසේන-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment