'මනා මූල්‍ය කළමනාකරණය නිසා වෙළෙඳ හිඟය අඩුවුණා' - මහබැංකු අධිපති.
ජාත්‍යන්තර වෙළඳාම තුළ ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස ආනයන වියදම්වල සිදුකළ මනා මූල්‍ය කළමනාකරණය නිසා වෙළෙඳ හිඟය අඩුවී ඇතැයි මහබැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය.
විදේශ විනිමය වැඩි වශයෙන් පිටරටට ඇදීගිය රථවාහන ගෙන්වීම, රත්‍රං හා ඉන්ධන මෙරටට ගෙන්වීම සඳහා වූ වියදම් පාලනයට මහ බැංකුව ගත් ක්‍රමවේද හේතුවෙන් මේවන විට එම ආනයන වියදම් පහත වැටී ඇතැයිද අධිපතිවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගනු ලැබූ ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ඊයේ සවස කොළඹ මහබැංකු මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.
මේවනවිට ශ්‍රී ලංකා රුපියල විදේශ විනිමය ගණනාවකට සාපේක්ෂව ශක්තිමත් වී ඇතැයි කී අධිපතිවරයා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 4.5කින් අධිප්‍රමාණය වී ඇතැයිද අධිපතිවරයා කීය.
ඉතා විශාල අභියෝග රාශියක් මැද රජය මෙවර සාර්ථක අයවැයක් රටට ඉදිරිපත් කළ බව අධිපතිවරයා ප්‍රශංසාත්මකව මෙහිදී අගය කෙළේය. වසර 2018 ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.2කින් වර්ධනය වී ඇත. ඉකුත් වසරේ එය සියයට 3.4ක් විය. මෙම මාධ්‍ය හමුවට නියෝජ්‍ය අධිපති එස්.ආර්. ආටිගල, අසෝක හඳගම, කරුණාරත්න යන මහත්වරු ඇතුළු එහි උසස් නිලධාරීහු එක්ව සිටියහ.
0 comments :
Post a Comment