අනූෂ ගැන ඇමති කතා කරයි

අනූෂ ගැන ඇමති කතා කරයි
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් අද (30) දින සියළුම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කොට තිබේ.

ඒ පසුගිය දා මාධ්‍ය තුළින් තමාගේ නම ඈදා ගෙන ගිය අසත්‍ය ප්‍ර්‍රචාර සම්බන්ධව අදහස් දක්වමිනි. ඔහු එහිදී සඳහන් කරන්නේ පසුගිය දින කිහිපයේ ඇති වූ හදිසි ආපදා තත්ත්වයේ දී රජයේ නිළධාරීන් විවිධ ස්ථාන වෙත අනියුක්ත කොට රාජකාරී ඉටුකළ බව මහජනතාව දැනගත යුතු බවත් ඒ ජනතාවගේ ආරක්ෂාව සහ සුබසෙත පතා මිස තමාගේ මිතුරන් ආරක්ෂා කිරීමට නොවන බවත් ය.

ඒ අනුව පසුගිය දිනක අනූෂ පැල්පිට මහතා තමාගේ අනුදැනුම මත පත්කළ බවට සමහර පුවත්පත්වලින් කළ මඩ ප්‍රචාර තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍යවරයා කියා සිටී.

අමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්.

"පසුගිය දා ඇති වු හදිසි ආපදා අවස්ථාවේදී නිලධාරීන් තම රාජකාරී සම්බන්ධයෙන් වෙනත් ස්ථාන වලට අනුයුක්ත කරමින් රජයක් වශයෙන් අපි ජනතාව බලාගත් බව මහජනයාද දැන ගැනීම වැදගත්ය. උදාහරණයක් ලෙස කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පාලන ප්‍රදේශයට වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් අනුයුක්ත කර මහජනතාව ආරක්‍ෂා කර ගැනීමට පියවර ගැනීම මෙන්ම ආපදා සිදුවු ප්‍රදේශවලට ආපදා සිදු නොවුනු ප්‍රදේශවල රජයේ සේවයන් අනුයුක්ත කර අවශ්‍ය සහන සලසන ලදි.

මාගේ අමාත්‍යංශයේ නිලධාරීන්ද ආපදා අවස්ථාවේ කැපවු අතර අපගේ අමාත්‍යාංශයේ නිලධාරීන් හිඟයට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිලධාරීන් ඉල්ලුවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයේ සිටි අය අප වෙත ලබාදෙන ලදි. එලෙස අනුෂ පැල්පිට අනුයුක්ත කළ පසු ඔහු මාගේ මිත්‍රයෙකු බවත්, ඔහු ආරක්‍ෂා කිරීමට මා ගත් ක්‍රියා මාර්ගයක් බවත් හුවා දැක්වීම මා තරයේ ප්‍රතික්ෂේප කරමි.

මෙම නිලධාරියා 2015 ජනවාරි 08 වන දා නව පාලනය ඇතිවු පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සංචිතයේ සේවය කර ඇත. අමාත්‍යාංශ දෙකම එක ගොඩනැගිල්ලේ පවතින අතර ඔහු මාගේ මිත්‍රයෙකු නම් අගෝස්තු 17 දින මා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වු පසු සහන ඉල්ලා මා මුණ ගැසී තිබිය යුතුය. එසේ නොමැති නම් පසුගිය මාස 10 තුළ මා මුණගැසීමට හැකියාව තිබුණි. 

එසේ කිසිදු දිනක ඔහු මා මුණගැසී නැත. එබඳු පත්වීම් ලබාදීම හෝ නොදීම මාගේ අමාත්‍යාං‍ශයේ විෂය පථයට අයත් නැත. එවැනි පසුබිමක එක් පුවත්පතක මාගේ ගජ මිතුරා බේරා ගැනීමට මා මැදිහත්වී  ඇති බව පැවසීම ද්වේශසහගතය. මාගේ මිතුරන් වෙනම සිටින නමුත් රජයේ සේවකයෙක් ඈදා මට මඩ ගැසීම මම තරයේ ප්‍රතික්ෂේප කරමි. ඉන් අනතුරුව ඒ පසුපස යමින් වෙනත් මාධ්‍යයද නොමග යෑම ගැන මම කණගාටුවෙමි.

2015 ජනාවාරි 08 වැනි දා ඇති කරගත් යහපාලන ආණ්ඩුව ඇති කිරීම සඳහා අප පක්‍ෂයත් අප නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ගත් ක්‍රියා මාර්ග මුළු රටම දනී. රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ එතුමාගේ අනුගාමිකයන් වන අපි පසුගිය වසර 20 පුරාම විරුද්ධ පක්‍ෂයේ කෙලින් හිටගෙන රාජපක්‍ෂලාගේ පාලනයට එරෙහිව කටයුතු කරන විට ප්‍රකාශ කළේ අපි දේශ‍ද්‍රෝහීන් හැටියටයි. එදා ද අපට පහර දුන් අය පසුව අපගේ මතවාදය හරි බව පිලිගෙන අප සිටි තැන අප සමග සිටගත්තේය.

එසේ වුවද මෙම සිදුවීම විකෘති කරමින් මා හට පහර ගැසීම දේවේශ සහගතය. මා කිසි දින රජයේ දේපොළ මං කොල්ල කන කිසිවකු ආරක්‍ෂා කර නැත. අ‍පගේ දේශාපාලන කාලය තුළ එවැනි නිලධාරීන් දුටු තැන ඈත් කර ඇත. මා මාගේ දේශපාලන ජීවිතයෙන් ආදර්ශය ලබාදුන් දේශපාලඥයෙකි. මාගේ දේශපාලන ජීවිතයේ වාහන බලපත්‍ර විකුණා මුදල් ගොඩගසා නැත. 

මම වාහන බලපත්‍ර විකුණා එම මුදල් මාගේ නිවසට හෝ නොගෙන මිදුලේදීම රාජපක්‍ෂලා පරාජය කිරීම සඳහා පාක්ෂිකයන්ට බෙදාදී රාජපක්‍ෂලා පරාජය කිරීමට ආදර්ශයෙන් කටයුතු කළ අයෙක් බව මුළු මහත් ජනතාවගේ දැන ගැනිම සඳහා සටහන් කරමි. මාගේ විෂය පථය තුළ මේ නිලධාරියා සම්බන්ධයෙන් මා කිසිදු රාජකාරීයක් මග හැර නැත. මා කිසිවිටක මාගේ වගකීම පැහැර හැර නැත. වර්තමාන පාලනයටද මා කිසිදු කැලැලක් ඇති කර නැත.

අපේ රටේ සිවිල් සංවිධානද එදා පාලනය වෙනස් කිරිමට දායක වු පිරිසකි. එම පිරිසද නොමග යවන සුළු පුවත් සම්බන්ධයෙන් මෙය නිවැරදි කිරීමකි. රාජ්‍ය නිලධාරින් වැඩි දෙනා මා හදුනන නමුත් මේ නිලධාරියා කිසිදු දිනක මෙම සිද්ධියට පෙර මා දැක නැත. මුණගැසීත් නැත. ඔහුද මා සමග කථා කර නැත. එවැනි පුද්ගලයෙකු සම්බන්ධ කරමින් ගෙනයන මඩ පුවත් ව්‍යාපාරය ගැන මාගේ කණගාටුව ප්‍රකාශ කරමි.

මෙම නිලධාරියා පසුගිය කාලය තුළ අත්‍යවශ්‍ය රාජකාරි යොදවා ඇත.  වැඩ තහනම් කොට තිබුණේද නැත. එවිට කිසිවකු පහර දුන්නේද නැත. සියලු දෙනාට ඔහුව මතක් වුයේ ගං වතුර සමයේ දින කිහිපයකට ඔහු මගේ අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කිරීමත් සමගය. මා රාජපක්‍ෂවරුන්ගේ අවතාරයක් බව කියන්නට ඇතැම් මාධ්‍ය ක්‍රියාකිරීම මවිතයට කරුණකි. 

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කොට මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට රට පුරා සංවිධාන කටයුතු මෙහෙයවමින්  සියලු ඡන්ද පොළ නියෝජිතයන් දැනුවත් කරමින් මා කළ කාර්යභාරය ගරු ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සියලු ආසන සංවිධායකවරුනුත් හොඳින් දනිති. මා එම සියල්ල කලේ අඩුතරමින් මන්ත්‍රීධූරයක් හෝ නොදරමින් සිටියදීය.

එක්සත් ජාතික පක්‍ෂය තුළ ප්‍රශ්න ඇති කරමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයෙන් ඉවත් කිරීමට පසුගිය කාලයේ උත්සහ දරා අසාර්ථක වු ඇතැම් ජනමාධ්‍ය මා කෙරෙහි වෛර බැදගෙන සිටින අතර පසුගිය කාලයේ මට එරෙහිව දිගින් දිගට ප්‍රහාර එල්ල කරමින් සි‍ටියේය. ඒවා මම ගණනකට නොගත්තෙමි. එසේ වුවද එම ප්‍රචාර අනෙක් මාධ්‍ය විසින්ද විශ්වාස කිරීමත් ඒ අනුව ක්‍රියා කිරීමත් කණගාටුවට කරුණකි.

එබැවින් මෙම සැබෑ කරුණු ජනතාවට ප්‍රකාශ කිරීමට ජනමාධ්‍ය ක්‍රියා කරනු ඇතැයි අපේක්‍ෂා කරමි." 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment