ලක්ෂ තුනක් තවමත් අවතැන්

ලක්ෂ තුනක් තවමත් අවතැන්

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 72825කට අයත් පුද්ගලයන් 294187ක් තවදුරටත් පීඩා විදිමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව එම මධ්‍යස්ථානය ඊයේ (29) සඳහන් කළේ පීඩාවට පත්ව සිටින ප්‍රමාණයෙන් පවුල් 4369කට අයත් පුද්ගලයන් 14181ක් තවමත් ආරක්ෂිත කඳවුරු 169ක් තුළ රඳවා සිටින බවයි.

පසුගිය දිනවල පැවති ආපදා තත්ත්වය නිසා පුද්ගල මරණ 105ක් වාර්තා වූ බවත් පුද්ගලයන් 116දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය එම නිවේදනයෙන් සඳහන් කර තිබේ.

තවද මේ වනවිට පවතින කාලගුණික තත්ත්වය හමුවේ බස්නාහිර, වයඹ, දකුණ මධ්‍යම සහ සබරගමු යන පළාත්වලට අද (30) දිනය තුළදී ද වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර නුවර, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, කළුතර දිස්ත්‍රික්කවලට වැසි ඇති වන බැවින් එම ප්‍රදේශවල පවතින කඳු නායයෑම්වලට ලක්විය හැකි බව ද ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන ලෙසට ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම ගංඟා ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇති වී තිබෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් කළු ගඟ පුටුපාවුල ප්‍රදේශයේ ජනතාව හා නිල්වලා ගඟේ පානදුගම සහ අත්තනගලු ඔයේ දුනුමලේ යන ප්‍රදේශවල ගංගා පිටාර ගැලීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කරයි.

මීට අමතරව කළු ගඟේ මිල්ලකන්ද හා ගිං ගඟේ තවලම යන ප්‍රදේශවල ඊයේ (29) සුළු ගංවතුර තත්ත්වයක් ඇති වූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) පී. හෙට්ටිආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයට පසුගිය දිනවල දැඩි හානියක් සිදුකළ කැලණි ගඟේ ජල මට්ටම සාමාන්‍ය තත්වයෙන් ඊයේ (29) දිනයේ පැවති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment