එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 15%ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ.
ඊයේ (13) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් නව සංශෝධන කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස ඊට අනුමැතිය හිමිව ඇත.
ඒ සම්බන්ධයෙන් අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සංශෝධිත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එමඟින් වැට් බදු අය කිරීම සම්බන්ධ ක්ෂේත්‍ර කිහිපයක් ගැන අවධානය යොමුකර ඇති බවටත් කරුණු අනාවරණය කෙරිණ.
ඊට අනූව පෞද්ගලික අංශයෙන් සිදු කරන රෝග විනිශ්චය පරීක්ෂණ, කාන්දු පෙරණ සහ වෛද්‍ය උපදේශක සේවා ඇතුළත් නොවන බාහිර රෝගී සේවාවන් වැට් බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කර තිබේ.
එසේම වාර්ෂික මුළු පිරිවැටුප රුපියල් මිලියන 50 හෝ ඊට වැඩි (කාර්තුවකට රුපියල් මිලියන 12.5) තොග සහ සිල්ලර වෙළෙදාම නව සංශෝධනයට අනුව වැට් බද්දට යටත්වේ.
තවද විදුලි සංදේශ සේවා, දුම්කොළ නිෂ්පාදන, සීනි හෝ වෙනත් පැණි රස කාරක එකතු කළ කිරි පිටි නව සංශෝධනයෙන් වැට් බද්දට යටත් කර ඇත.
මීට අමතරව ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළක සිට රටින් පිටත වෙනත් ගුවන් තොටුපොළකට යන මගීන්ගේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද වැට් බද්දට යටත් කර තිබේ.
ඉහත යෝජනා සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ ඊට අනුමැතිය ලබාදුන්නේය.
මෑතක් වන තුරු වැට් බද්ද පැවැතියේ 12%ක අගයක වන අතර විදේශ ණය බර වැඩිවීම හේතුවෙන් වැට් බද්ද 12% සිට 15% දක්වා වැඩි කිරීමට රජය පියවර ගත්තේය.
කෙසේ වුවද 15%කින් වැට් බදු අය කර ගැනීමට පාර්ලිමේන්තු අනුමැතියක් නොලැබුණු බව පවසමින් එම සංශෝධනයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඇතුළු වෘත්තීය සමිති විසින් ගෙනගිය විරෝධතා හා අධිකරණ නියෝග හේතුවෙන් එය ක්‍රියාවට නැංවීම නතර කිරීමට රජයට සිදුවිය.
15% සංශෝධනය මගින් මාසික පිරිවැටුම රුපියල් මිලියනයක් වන ව්‍යාපාරික ස්ථානවලින් වැට් බදු අය කර ගැනීමට කටයුතු යොදා තිබුණි.
කෙසේ වුවද සංශෝධිත කෙටුම්පත මගින් එය වසරකට රුපියල් මිලියන 50ක් වන ව්‍යාපාරික ස්ථානවලට අදාළව 15% වැට් බදු අය කර ගැනීමට යෝජනා කර ඇත.
ඒ අනූව සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර අනුමත කර ගැනීමට රජයට සිදුව තිබේ.
0 comments :
Post a Comment