යහපාලන ආණ්ඩුව ඇතුළේ ‘මිනි ආණ්ඩු’ 60ක් පමණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ(13) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
“අපි පළමුවෙන්ම 12වැනිදා ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳව අපේ මතය ප්‍රකාශ කිරීමට කැමතියි. ජනාධිපතිවරයා රටේ පළමු පුරවැසියා හැටියට පළමු වරට පවසනවා, ‘CID, FCID හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරනවා’ කියලා. යම්කිසි රාජ්‍ය දෙපාර්තමේන්තු හෝ රාජ්‍ය ආයතන දේශපාලන අරමුණු මුදුන්පත්කර ගැනීම පිණිස යොදා ගන්නවා කියන්නේ සිදු වෙන්න පුළුවන් ලොකුම රාජ්‍ය සම්පත් අවභාවිතයයි. මූලික අයිතිවාසිකම්, ප්රජාතන්ත්රවාදය පිළිබඳව විවිධ කතාන්දර කියා බලයට පැමිණි මේ ‘ආණ්ඩුවේ ප්රධානියාම’ අද පිළිගන්නවා, රාජ්‍ය ආයතන මේ විදියට අවභාවිත කිරීම සිදු වෙනවා කියලා. මේ රාජ්‍ය ආයතන දේශපාලන අරමුණු මුදුන්පත්කර ගැනීම සඳහා යොදා ගන්නවා කියන්නේ, ඒවා තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීම පිණිස යොදා ගැනීම. දේශපාලන ප්‍රතිවාදියා ඉන්නේ ආණ්ඩුවෙන් පිට නම් අද මේ ආයතන යොදා ගෙන අනිවාර්යෙන්ම මර්දනය කරනවා. ඒ විතරක් නොවෙයි ආණ්ඩුව ඇතුළේ තමන්ට අභියෝගයක් වන චරිත ඉන්නවා නම් ඔවුන් මර්දනය කිරීමටත් මේ ඉහත කී ආයතන අද යොදා ගනු ලබනවා.
ජනාධිපති සිරිසේන මැතිතුමා මේ ආකාරයෙන් ප්‍රකාශයක් කළාම අපට මතුවන පළමු ප්රශ්නය කුමක්ද? ‘එහෙමනම් අද රට පාලනය කරන්නේ කවුද?’ කියන ප්රශ්නය. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ‘විධායකයේ ප්‍රධානියාව’ සිටියදී ඔහුටත් නොදන්වා මේ ආයතන තීරණ ගන්නවා නම්, එක් එක් අය අත්අඩංගුවට ගන්නවා නම්, උසාවි ගෙන යනවා නම් අද කවුද මේ රට පාලනය කරන්නේ? අපි නම් නොවෙයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ චෝදනාව එල්ල කරන්නේ ඇයි? පළමු එක තමයි ඔහුට එල්ලවන මේ චෝදනාවෙන් ගැලවීම. දෙවන එක තමයි එම චෝදනාව වෙනත් කෙනෙකුට පැටවීම. නැතිනම් ඒ චෝදනාව ඇත්තටම අයිති කෙනාට ඒ චෝදනාව එල්ල කිරීම. ඒ තුනෙන් එකක් තමයි සිදු විය හැක්කේ. එතකොට මේ චෝදනාව වක්‍රාකාරයෙන් ඉදිරිපත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට බව පැහැදිලියි. රටේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ‘වහෙන් ඔරෝ’ භාෂාවෙන් කියනවා, ‘රටේ අගමැති CID, FCID හා අල්ලස් කොමිසම දේශපාලන අරමුණු වෙනුවෙන් පාව්චිචි කරනවා. ඒක මට පිළිකුළ්. මම ඒක හෙළා දකිනවා’ කියලා.“ යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“අපි 2015 ජනවාරි 08 වැනිදාට කලින් කීවා, ‘මේ අවුල් හවුල බලයට ආවොත් ආඬි හත්දෙනාගේ කැඳ හැලියට හපන් වෙනවා’ කියලා. මේ ‘යහපාලන ආණ්ඩුව ඇතුළේ ‘මිනි ආණ්ඩු’ 60ක් විතර තිබෙනවා. සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවයි, අගමැති වික්‍රමසිංහගේ ආණ්ඩුවයි එතැන දෙකයි, ඒ දෙක හැප්පෙනවා. අර්ජුන රණතුංගගේ ආණ්ඩුවයි, දයාසිරිගේ ආණ්ඩුවයි තවත් දෙකක්. ඒ දෙක හැප්පෙනවා. කියලා කෙළවර කරන්න බැරි මේ විදිහේ එකිනෙක හැප්පෙන ‘මිනි ආණ්ඩු’ මේ යහපාලන ආණ්ඩුව’ ඇතුළේ තිබෙනවා. “ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
0 comments :
Post a Comment