ඉන්දියාවේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන ‘රංජි කුසලාන’ තරගාවලියේදී මහාරාෂ්ඨ්‍ර පිල සහ දිල්ලි පිල අතර පැවැත්වෙන තරගයකදී කඩුලු 2 කට ලකුණු 635 ක් ලබා සිටි මහාරාෂ්ඨ්‍ර ඉනිම නතර කිරීමට නායක ස්වප්නීල් ගුගලේ තීරණය කිරීම නිසා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සතු පළමු පෙළ ක්‍රිකට් ලෝක වාර්තාවක් සුරක්ෂිත වු බව ක්‍රීඩා වාර්තා කියයි.
වසර 2006 දී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති ටෙස්ට් තරගයේදී තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 624 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සංගක්කාර සහ මහේල දෙදෙනා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැති හොඳම සම්බන්ධතාවේ ලෝක වාර්තාව සතුකර ගෙන සිටියේය.
මුබ්බායිහි වැන්කඬේ ක්‍රීඩාංගණයේදී (2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පැවැති ක්‍රීඩාංගණය) මහාරාෂ්ඨ්‍ර පිල සහ දිල්ලි පිල අතර පැවැත්වෙන රංජි කුසලාන තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (14 වැනිදා) මහාරාෂ්ඨ්‍ර පිලේ ස්වප්නීල් ග-ගුගලේ සහ අන්කිත් බවානි දිල්ලි පිලට එරෙහිව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 594 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා ගෙන සිට ඇත.
සිවුදින තරගයක් වන මෙම තරගයේ දෙවැනි දිනයේ ක්‍රීඩාව අවසන් වීමට අඩහෝරාවක් පමණ තිබියදී දිනයේ මෙම ඉනිම නතර කිරීම සිදුව තිබේ.
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනා සතු ලෝක වාර්තාවට තවත් ලකුණු 30 ක් මෑතින් සිටියදී ඉනිම අත්හිටුවීමට මහාරාෂ්ඨ්‍ර පිලේ නායක ස්වප්නීල් ගුගලේ තීරණය කිරීම නිසා සංගක්කාර සහ මහේල සතු ලෝක වාර්තාවට තවත් කලක් පළමු පෙළ වාර්තා පොතේ ඉහළින්ම සිටීමට වරම් ලැබිණ.
ඒ වන විට ගුගලේ නොදැවී ලකුණු 351 ක් ලබා සිට ඇති අතර ඔහුගේ සහායක පිතිකරුවා වන අන්කිත් බවානි නොදැවී ලකුණු 258 ක් ලබා සිටි තිබේ. මෙම පිතිකරුවන් දෙදෙනාගේ සම්බන්ධතාව වසර 150 කට වැඩි ඉතිහාසයක් ඇති පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවැනි ඉහළම සම්බන්ධතාව වෙයි.
ඕනෑම කඩුල්ලක් සඳහා පැවැති ලකුණු 575 කට ඉහළ සම්බන්ධතා අතුරින් ටෙස්ට් කණ්ඩායම් දෙකකට එරෙහිව එවන් දස්කම් කර ඇත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාත්, සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම දෙදෙනාත් පමණි.
සෙසු සියලුම සමබන්ධතා ඒ ඒ රටවල පළමු පෙළ කණ්ඩායම් වලට එරෙහිව පැවැති සම්බන්ධතා වෙයි.
පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම සම්බන්ධතා...
624/3 කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන (දකුණු අප්‍රිකාවට එරෙහිව – කොළඹදී) 2006 දී
594/3 ස්වප්නීල් ගුගලේ සහ අන්කිත් බවානි (දිල්ලි පිලට එරෙහිව – මුම්බායිහිදී) 2016 දී
580/2 රෆාතුල්ලා මොහොමඞ් සහ අමීර් සජාඞ් (ජල විදුලි සංවර්ධන අධිකාරීයට එරෙහිව) 2009 දී
577/4 විජය හසාරේ සහ ගුල් මොහොමඞ් (හොල්කාර් පිලට එරෙහිව – බැරෝඩාහිදී 1946 දී
576/2 සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම (ඉන්දීයාවට එරෙහිව – කොළඹදී) 1997 දී
574/4 ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් සහ ශ්‍රීමත් ක්ලයිඞ් වෝල්කට් (ට්රිනිඩෑඞ් පිලට එරෙහිව) 1945 දී
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment