කොළඹ වෙළෙඳසැල් හා ආපනශාලා වටලයි

කොළඹ වෙළෙඳසැල් හා ආපනශාලා වටලයි

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා ජාතික සතිය අද (28) ආරම්භ විය.  

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභා බල ප‍්‍රදේශයේ හෝටල් සහ ආපන ශාලා පරීක්ෂාව අද උදෑසන සිදු කෙරිණි. 

එමෙන්ම කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සහ කොළඹ අක්ෂි රෝහල ඉදිරිපිට පිහිටි සියලු ම වෙළෙඳසැල්, හෝටල්, පරීක්ෂාවට ලක් කරන ලදි.  සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ආහාර සුරක්ෂිතතා සතිය ක‍්‍රියාත්මක කරන බවත් ඒ අනුව පරීක්ෂාවට ලක් කළ හෝටල් සහ ආපන ශාලා රැසක් අපිරිසිදු බවත් ප්‍රකාශ කළ වෛද්‍ය පාලිත මහීපාල මහතා ආහාර නිෂ්පාදන ගබඩා කරන ස්ථාන ප‍්‍රමිතියෙන් තොර බව මෙහිදි හෙළි වූ බව ද ඔහු ප‍්‍රකාශ කළේය. 

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ වෙළෙඳසැල් හා හෝටල් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. 

විශේෂයෙන්ම ශීතකරණ අපිරිසිදුව පවත්වාගෙන යාම පිළිබඳ ව වෙළෙඳසැල් හිමියන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩි ලෙස අවවාද කිරීමට මෙහිදී පියවර ගත් අතර, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් නිවසෙන් සදාගෙන පැමිණ ආහාරයට ගන්නා ලෙස ද නැතිනම් සෞඛ්‍ය සම්පන්න ස්ථානයකින් ආහාර ගන්නා ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.  

අද දින රාත‍්‍රීයේ මගී බස් රථ නතර කරන ස්ථාන ද පරීක්ෂා කිරීමට නියමිතය.  

පසුගිය කාල සීමාව පුරා බෝ නොවන රෝග පාලනයට හා සමහර බෝ නොවන රෝග තුරන් කිරිමට ශ‍්‍රී ලංකාව සමත් වූ නමුත් අද වනවිට බෝ නොවන රෝග පාලනය පිළිබඳ අභියෝගයකට මුහුණ පා ඇත. සියලු ප‍්‍රධාන බෝ නොවන රෝග වැළඳීමට ආහාර පාන ඍජුව බලපානු ලබයි. ආහාර පනත යටතේ පනවා ඇති රෙගුලාසි උපයෝගි කර ගනිමින් ආහාර බාල කිරීම් හා දුහනය වීම් පිළිබඳව ද මෙම සතියේ දී අවධානය යොමු කෙරේ.  

ඒ අනුව ආහාර පාන සකස් කරන හෝටල්, බේකරි, රෙස්ටුරන්ට් සහ දුර ගමන් බස් රථ නැතුම් ස්ථානවල පිහිටි ආපනශාලා මෙහිදී පිරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇත. එමෙන්ම පැණි බීම සඳහා වූ වර්ණ සංකේත යෙදීමේ නීතිය ද ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ව මෙහිදී වැඩි අවධානය යොමු කරන අතර, එම නීතිය කඩ කරන වෙළෙඳුන්ට සහ නිෂ්පාදකයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ද නියමිතය.  

එමෙන්ම ඉහත සියලු ස්ථානවල සනීපාරක්ෂක කටයුතු පිළිබඳවත්, පාසල් ආපන ශාලා ප‍්‍රතිපත්තියට අනුකූලව පවත්වාගෙන යනු ලබනවා ද සහ පාසල් අවට ආපන ශාලාවල ආහාර සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කිරිම පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස දන්වමින් සියලු ම පළාත් සහ ප‍්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, නගර සභා සහ සියලු ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන් වෙත උපදෙස් ලබාදෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් විශේෂ චක‍්‍ර ලේඛයක් ද නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget