ඉන්දු ලංකා ගිවිසුම ගැන බොරු ප්‍රචාර එපා - ජනපති

ඉන්දු ලංකා ගිවිසුම ගැන බොරු ප්‍රචාර එපා - ජනපති

ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම පිළිබඳව රටේ ජනතාව සහ අනෙකුත් අංශ තුළ අනවශ්‍ය බියක් ඇති නොකරන ලෙසත් ඒ පිළිබඳව අසත්‍ය ප්‍රචාර සමාජගත නොකරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලීමක් කරයි.

එම ගිවිසුමට රජය අත්සන් තබන්නේ එය පළමුව කැබිනට් මණ්ඩලයට ද දෙවනුව පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර අහිතකර දේ ඇත්නම් ඒ සියල්ල ඉවත් කිරීමෙන් පසු සියලු දෙනාට පිළිගත හැකි ගිවිසුමක් ලෙස බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 07 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එම අයවැය විවාදයට එක්වෙමිනි.

රජයක් ලෙස ඉන්දියාව සමඟ පමණක් නොව ආර්ථික වශයෙන් ශක්තිමත්, ආර්ථික සහයෝගය ලබාගත හැකි රටවල් සමඟ රජය ඉදිරියේ දී නව එකඟතාවයන් ඇතිකර ගැනීමට අපේක්ෂා කරන බව ද ජනාධිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඇතැම් පාර්ශවයන් ඉදිරිපත් කරන ජනතාව නොමගයවන සුළු, වැරදි මත ඉතා කණගාටුදායක බව පැවසූ ජනාධිපතිවරයා රටේ ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු  කරන සියලුදෙනා මෙම කරුණු හමුවේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ සහ සංශෝධනවලට යටත්ව බව පැවසූ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තවමත් රජය කිසිදු එකඟතාවයකට පැමිණ නොමැති බව ද සඳහන් කළේය.

වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගැනීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම, නව අණපණත් ගෙන ඒම යන සියල්ලේදී රජය කටයුතු කරන්නේ ජනතා මතය විමසමින් මෙන්ම රටේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment