ලඟදීම 'කෝප්' හා 'කෝපා' රැස්වීම් සියළු මාධ්‍යයන්ට විවෘත කරයි

ලඟදීම 'කෝප්' හා 'කෝපා' රැස්වීම් සියළු මාධ්‍යයන්ට විවෘත කරයි

කෝප් සහ කෝපා රැස්වීම් නුදුරේදීම සියළු මාධ්‍යන්ට විවෘත කිරීමට පියවර ගනු ලබන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ මෙපමණ කලක් කඩදාසි මිටි ගණන් රැස් කරමින් ක්‍රියාත්මක කළ කටයුතු නොබෝ දිනකින්ම විද්‍යුත් දත්ත බවට පත් කර පාර්ලිමේන්තුව වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති මූල්‍ය පාලන බලය කාර්යක්ෂම කරන බවද කථානායකවරයා පෙන්වා දුන්නේය.

හෙතෙම මේ බව පැවසූයේ ඊයේ (08) පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු ශාලාවේදී පැවැති රාජ්‍ය ගිණුම් කාරක සභා සහ පොදු ව්‍යාපාර පිළිබඳ  කාරක සභාවන්හි 2017 වසරේ සැලැස්ම ඉදිරිපත් කිරීමේ විශේෂ රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ අදාල කාරක සභා නි‍යෝජනය කරන මන්ත්‍රීවරු මෙන්ම සියළුම අමාත්‍යංශ ලේකම්වරුද මේ සඳහා එක්ව සිටියහ. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා පැවසූයේ ඉතිහාසයේ පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය ඉතා ස්වාධීනව හා ශක්තිමත්ව ක්‍රියාත්මක වන යුගයක් බවට වර්තමාන අවධිය හැඳින්විය හැකි බවත්, විශේෂයෙන්ම විපක්ෂයට කාරක සභා සභාපතිධූර සහ සාමාජිකත්වයෙන් 50% ක්ම පිරිනැමීමට හැකි වීම තුළ එය ප්‍රත්‍යක්ෂ වන බවත්ය.  

දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති අමෙරිකා එක්සත් ජනපදයේවත් විපක්ෂ මන්ත්‍රීවරුන්ට කාරක සභාවල නොමැති බලයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව ද කථානායකවරයා පැවසී ය.

මෙහිදී කථානායකවරයා සඳහන් කළේ කලකට පෙර අවංක රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව ආරම්භ කළ Clean Hand (ක්ලීන් හෑන්ඩ්) සංකල්පය මගින් කළ හෙළිදරව්ව අනුව රජයේ මුදල් සියයට හතලිහක් නාස්තිය හෝ දූෂණයට ලක්වන තත්ත්වයක් තිබූ බවය. නමුත්, මෙම කමිටු සවිබල ගැන්වීම මෙන්ම තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක විමත් සමග පියවරෙන් පියවර එම අවාසනාවන්ත තත්ත්වය අවම කර ගත හැකි වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.

“රාජ්‍ය ආයතනවල ගිණුම් වාර්තා දිගින් දිගටම ප්‍රමාද වන තත්ත්වයක් තිබුණා මට මතකයි. 2002 දී රජයේ ගිණුමක් ඉදිරිපත් වුනා වසර 15 කට පසුව. දැන් කොහොම හරි ජූනි මාසය වන විට සෑම රාජ්‍ය ආයතනයක්ම විගණන වාර්තා ඉදිරිපත් කිරීමට උනන්දු වනවා. රාජ්‍ය සේවයේ අවංක දක්ෂ නිලධාරීන් විශාල පිරිසක් සිටිනවා.  ඔවුන්ටත් රාජ්‍ය සේවය පිරිසිදු කර ගැනීමට අවශ්‍යයි.“ යැයි කතානායකවරයා සඳහන් කළේය. 

විශේෂයෙන්ම කමිටු ක්‍රියාවලිය තුළ මහජන මුදල් ආරක්ෂා කිරීමේ විශේෂිතම වගකීම භාරව සිටින රාජ්‍ය ගිණුම් කාරක සභාව හා උසස් නිලතල පිළිබඳ කාරක සභා සභාපතිවරුන් දෙදෙනා හා නිලධාරීන් ප්‍රසංශනීය මෙහෙවරක් ඉටු කර ඇති බව ද කථානායකවරයා පැවසීය. 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment