විහාරාධිපතිගෙන් කප්පම් ගත් හොර අමාත්‍යංශ ලේකම් දැලේ

විහාරාධිපතිගෙන් කප්පම් ගත් හොර අමාත්‍යංශ ලේකම් දැලේ

විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 50 ක් ලබාදෙන බවට බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් සේ ව්‍යාජ දුරකතන ඇමතුම් දී, බදුල්ලේ ඓතිහාසික විහාරස්ථානයක විහාරාධිපති හිමියන් මුලාකර රුපියල් හය ලක්ෂ තිස්පන්දහක මුදලක් වංචා සහගත ලෙස ලබා ගැනීම සහ තවත් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා බියට පත් කිරීම යන චොදනා යටතේ ඊයේ (07) බදුල්ල නගරයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

40 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ අදාළ කප්පම් මුදල ලබාගැනීමට පැමිණි අවස්ථාවේදීය.

මෙම සිද්ධියට මුහුණ පෑ බදුල්ල ඓතිහාසික ගල්ගේපිටිය විහාරස්ථානාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ අධිකරණ සංඝ නායක දිවිතොටවෙල සුධම්ම හිමියන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අන්දමට විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සදහා උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාගෙන් රුපියල් ලක්ෂ 31ක මුල්‍ය ආධාරයක් ඉල්ලා ඇති අතර ඉන් මාස කිහිපයකට පසුව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් බව හැඟවු පුද්ගලයෙකුගෙන් දුරකතන පණිවිඩයක් ලැබී තිබේ.

එහිදී අදාළ තැනැත්තා ප්‍රකාශ කර ඇත්තේ අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලූ මුදල් ආධාරය සම්බන්ධයෙන් වන ලිපිය තමාට ලැබුණු බවත් එම මුදල රුපියල් ලක්ෂ 50ක් දක්වා වැඩිකර දීමට තමන්ට හැකි බවත්ය.

එම පොරොන්දුව මත ආපසු ලබාදෙන බව පවසා වෙනත් පුද්ගලයෙක් එවා රුපියල් හය ලක්ෂ තිස්පන්දහසක් ලබාගත් බවත් ඉන්පසු තවත් පුද්ගලයෙක් ඒවා චෙක්පත් 02කට අත්සන ලබාගෙන ගිය බවත් උන්වහන්සේ සදහන් කර තිබේ.

ඉන්පසු පසුගිය 05 වැනිදා අමාත්‍යංශ ලේකම්වරයා ලෙසින් දුරකතන පණිවිඩයක් ලැබුන බවත් එ් සම්බන්ධයෙන් අදහස් දැක්වූ විහාරාධිපති හිමියන් , "හාමුරුවෝ ලොකු වරදක් කරලා තියෙනවා. කෝටියක චෙක්පත්වලට අත්සන් කරලා තියෙනවා. මේක බේරගන්න නම් තවත් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් ප්‍රසන්නට දෙන්න කියා අමත්‍යාංශ ලේකම් කපිල නමින් කතා කරලා කිව්වා. මම හොදටම බය වුනා. මේක බේරගන්න ඕන නිසා මම මල්ලිගේ පුතාට කෝල් කරලා කිව්වා ලක්ෂ 02 ක් හොයාගෙන එන්න කියලා. මේ ගැන සැක හිතිලා අපි පොලිසියට පැමිණලි කළා" යැයි පැවසීය. 

ඒ අනුව වහාම ක්‍රියත්මක වී රුපියල් ලක්ෂ 02ක කාඩදාසි ඩමියක් සාදා සැකකරු සමඟ පැමිණිලිකාර විහාරාධිපති හිමියන් දුරකතනයෙන් සම්බන්ධ කර බදුල්ල - මුතියංගනය නුදුරු ස්ථානයකදී එය හිමිනමගේ අතින් සැකකරු විසින් ලබාගනිද්දී අත්අඩගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

වැලිමඩ, අඹගස්දෝව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු අද (08) පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බදුල්ල - පාලිත ආරියවංශ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment