ලංකාවෙන් ඉන්දියාවට යන්න නැව් සේවාවක් - රජයෙන් අවසර ලැබෙයි

ලංකාවෙන් ඉන්දියාවට යන්න නැව් සේවාවක් - රජයෙන් අවසර ලැබෙයි

උතුරේ සිට ඉන්දියාව දක්වා දින දහයක කාලයකට මගී නෞකාවකට  ගමන් කිරීම සදහා වසර තිස්දෙකකට පසුව ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබාදී තිබේ.

එම අවසරය ලැබී ඇත්තේ 2017 ජනවාරි මස 02 වන දා සිට 12 වනදා දක්වා දකුණු ඉන්දියාවේ ‍කෝවිලක පැවැත්වෙන ''තිරුවාතිරෙයි'' හින්දු උත්සවයකට සහභාගි වන උතුරේ හින්දු බැතිමතුන් වෙනුවෙනි.

මෙම උළෙලට සහභාගිවන උතුරේ ''ශිවසේනා'' හින්දු සම්මේලනයේ ප්‍රධානී මරවන්පුලව් සච්ත්තානන්දන් පැවසුවේ මෙවර එම උළෙලට උතුරේ හින්දු බැතිමතුන් දෙදහසක් පමණ සභභාගි වන බැවින් ඊට නැවකින් ගමන් කිරීමට තමන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අවසර ඉල්ලූ බවයි.

දකුණු ඉන්දියාවේ පිහිටි එම හින්දු කෝවිලෙන් බැතිමතුන්ට අවශ්‍ය සියළුම පහසුකම් ලැබෙන බැවින් තමන් ආණ්ඩුකාරවරයාගෙන් නෞකාවක ගමන් කිරීම පිණිස පමණක් අවසර ඉල්ලූ බව කී හෙතෙම මේ වන විට ඊට අවසරය ලැබී ඇති බව තමන්ට දැන ගැනීමට ලැබුණු බවද කියා සිටියේය.

කන්කසන්තුරේ වරායේ සිට දකුණු ඉන්දියාව තෙක් ගමන් කිරීම සදහා අවසරය ඉල්ලා ඇති අතර බැතිමතුන් සංඛ්‍යාව ඉහල නම් ගමන් අවස්ථා කිහිපයක් යාමට සිදු වන බවද ''ශිවසේනා'' හින්දු සම්මේලනයේ සංවිධායකවරයා පැවසී ය.

මේ පිළිබදව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමන් වෙත කරන ලද ඉල්ලීම ආරක්ෂක අමාත්‍යාංශය වෙතත්, ශ්‍රී ලංකා නාවුක හමුදාව වෙතත් ඉදිරිපත් කොට ඊට අවශ්‍ය අවසරය ලබා දුන් බවයි.

මෙම ගමන සදහා අවශ්‍ය වන ගමන් බලපත්‍ර, වීසා හා නැව් ගාස්තු ගමනට සහභාගි වන බැතිමතුන් විසින් දැරිය යුතු බවද ආණ්ඩුකාරවරයා පැවසී ය.

මේ අන්දමටම යාපනය හා ඉන්දියාව අතර මගී නෞකා සේවයක් ආරම්භ කිරීමට අදහසක් නැතිදැයි ආණ්ඩුකාරවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එය ඉදිරි කාලයේදී සිදුවනු ඇති බවයි.

දිනසේන රතුගමගේ

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment