ඇරෙස්ට් නොකරන්නැයි කෝල් එක දුන්නේ ඇමති සාගල - පොලිස්පති අද පාර්ලිමේන්තුවට


හිටපු නිලමේ ඩිෂාන් ඇරෙස්ට් නොකරන්නැයි 
කෝල් එක දුන්නේ ඇමති සාගල  - අගමැති පිළිගනී

පොලිස්පතිවත් අද පාර්ලිමේන්තුවට ගෙනවිත් කරුණු විමසයි

පසුගියදා ප්‍රසිද්ධ රැස්වීමකදී පොලිස්පතිවරයාට ආ දුරකථන ඇමතුම සම්බන්ධ සිද්ධියට අදාල කරුණු මේ වනවිට තහවුරුවී තිබේ.
ඒ අනුව එදින දෙවිනුවර හිටපු බස්‌නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර අත්අඩංගුවට නොගන්නා ලෙස ඇමති සාගල රත්නායකගේ පොලිස්පති පූජිත ජයසුන්දරට ඇමතුමක් දී ඇති බවත් මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්‌පති පූජිත් ජයසුන්දර අද (05 දා) පාර්ලිමේන්තුවට කැඳවන බවත්
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (03 දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
මෙමගින් මේ දක්වා කුකුසක්ව පැවති ‘පොලිස්පතිට ආ කෝල් එක‘ පිළිබඳ සැකය නැතිව තිබෙන නමුත් මේ ආකාර බලපෑම් වත්මන් රජය යටතේද සිදුවීම සම්බන්ධයෙන් ජනතාවට කළකිරුණ හැඟීම් ඇතිව තිබේ.
මෙම කාරණාව ගැන නම් ගම් සහිතව කරුණු හෙළි කරමින් දිගින් දිගට පාර්ලිමේන්තුවේදී වාද හටගත් අතර වීරකුමාර දිසානායක ,දිනේෂ් ගුණවර්ධන හා අනුර කුමාර මන්ත්‍රීරුන් දිගටම මේ ගැන විමසා තිබුණි.
එහිදී අගමැති රනිල්ගේ පිලිතුර වූයේ,

‘පොලිස්‌පතිවරයාගෙන් අහලා බැලුවා. මේ බස්‌නායක නිලමේට පොලිසියට එන්න කියලා. එතනදි අහලා තියෙනවා උසාවියට ආවාම අත්අඩංගුවට ගන්නවද කියල. පොලිස්‌පතිතුමා හොයලා බලලා උසාවියට එන්න කියලා තියෙන්නේ. ලිපි වගයක්‌ භාර දෙන්න විතරයි. මේ නිසා අත්අඩංගුවට ගන්නෙ නෑ කියලා තමයි
කිව්වේ එච්චරයි එතැන සිදුවෙලා තියෙන්නේ. ඒ පුද්ගලයා අපි එක්‌ක හිටියේ. ගිහින් රජතුමාට හේත්තු වුණා. පරණ සම්බන්ධකම් තියෙන නිසා අපෙන් ඇහුවා අල්ලනවාද නැද්ද කියලා.

නිලමේ නොවේ මන්ත්‍රීවරු කී දෙනෙක්‌ මේ විදිහට කතා කරලා අහනවාද අපිව අල්ලනවද නැද්ද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔළුව කැඩුව වගේ දේවල් අපි කරලා නෑ. මන්ත්‍රී කෙනෙක්‌ අහනවා නම් අපිව අත්අඩංගුවට ගන්නවද කියලා අපි යම්කිසි සහනයක්‌ ලබා දෙන්න බලන්නම්. සරත් ෆොන්සේකාට කළ දේ කරන්න අපට වුවමනාවක්‌ නෑ. මන්ත්‍රී කෙනෙක්‌ ඇහුවාම මමත් අහලා බලනවා මොකටද එන්න කිව්වේ ඇතුලට ගන්නවද නැද්ද කියලා‘

මේ අවනඩුව සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර , පොලිසිය භාර ඇමැති සාගල රත්නායකද කැඳවන බව කී අගමැතිවරයා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතාටද පැමිණ පොලිස්‌පතිවරයාගෙන් කරුණු විමසිය හැකි බව ප්‍රකාශ කළේය.
මේ ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය.

මේ කියන කෙනා ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කළා කියලා චෝදනා තියෙනවා. ඛනිජ වැලි සංස්ථාවේ වැලි විකිණීමේ ගනුදෙනු ගැන චෝදනා එල්ල වෙනවා. පසුගිය පාලනයේ ඉහළම තැනැත්තන්ගේ සමීපතම අය මේ. ඉතින් ජනවාරි 08 දා ඔබතුමාලට දීලා තියෙන ජනවරම සැලකිල්ලට ගෙන කටයුතු කරන්න.
ජනවරමේ පැහැදිලිව තිබුණේ වංචාව, දූෂණය, කළ අයට දඬුවම් ලබා දෙන බව. ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වීමේ බලය පොලිසියට තියෙනවා. ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ බලය නීතිපති දෙපාර්තමේන්තුවට තියෙනවා. නමුත් ඒ බලය ඇති පොලිසියේ ප්‍රධානියාට දුරකථන ඇමතුමකට අනුව ප්‍රතිචාර දක්‌වනවා නම් කිසිසේත්ම අත්අඩංගුවට ගන්නේ නෑ කියලා.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment