තඹුත්තේගම විදුහල්පති කාර්යාල කාර්ය සහායිකාවගේ පිට දිගේ අත යවලා

සේවය කරන විද්‍යාලයේ වැඩ බලන විදුහල්පතිවරයා කළ අයුතු යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විදුහල්පතිවරයා තමන්ගෙන් පළිගනිමින් කාර්යාලයෙන් ඉවතට දමා ගසක් යට රඳවා තැබීමට කටයුතු කරන
බවට තඹුත්තේගම අධ්‍යාපන කලාපයට අයත් විද්‍යාලයක කාර්යාල කාර්ය සභායිකාවක් පැවසුවාය.
තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ විද්‍යාලයක කාර්යාල කාර්ය සහායිකාව ලෙස කටයුතු කරන එප්පාවල කටියාව යාය 09 පදිංචි ඇය පාසල් කාර්යාලයෙන් ඉවතට දමා තිබිණි. ඇය පෙරේදා (22දා) පාසල් කාලය තුළ විදුහල්පති කාර්යාලය අසල පිහිටි ගොඩනැඟිල්ලක් අසල සිටින අයුරු දැකගත හැකිවූ අතර විදුහල්පති කාර්යාලයේ ‍දොර
ඉබි යතුරු නොදමා වසා තිබිණි.

විදුහල්පතිවරයා සිදුකරන අසාධාරණය පිළිබඳව හඬා වැටෙමින් පැවැසූ එම මහත්මිය මගේ මහත්තයා විශ්‍රාමික යුද හමුදා සෙබළෙක්. 2015 වර්ෂයේ ජූලි මාසයේ 13 වැනිදා කාර්යාල කාර්ය සහායිකාවක ලෙස සේවයට බැඳුණා. මේ පාසලට ආවේ ජනවාරි 17 වැනිදා. කලින් කටියාව ප්‍රදේශයේ පාසල් දෙකක වැඩ කළා. ඊට පස්සේ තමයි මේ පාසලට ආවේ. මේ විදුහල්පතිවරයා තමයි මට මේ පාසලට මාරුව හදාගන්න ගොඩක් උදවු කළේ. ලියුම් පවා හදලා දීලා යන්න ඕන තැන් පවා කිව්වා. මම හිතුවේ ඒවා කළේ සර් සද්භාවයෙන් කියලා. හැබැයි වැඩට ඇවිත් සති දෙකක් විතර යද්දී තමයි තත්ත්වෙ දැනගත්තේ.

මම වැඩ කර කර ඉද්දිත් මගේ පිට අතගානවා, පිටට තට්ටු දානවා. එක දවසක් කබඩ් එකේ ෆයිල් වගයක් ගද්දී මට දැනුණා මගේ පිට දිගේ ඇඟිල්ලකින් අතගානවා. මට ඒ වෙලාවේ කෑ ගැහුණා. ඒ වෙලාවේ සර් කිව්වා ඇඟිල්ල වැදිලා ඔහොම නම් වෙන මොකක් හරි වුණොත් කොහොම කෑ ගහයිද කියලා. මම ඔෆිස් එකේ එහෙට මෙහෙට යද්දි මාව හරස් කරනවා.

මම සර්ට කිව්වා තට්ටු දාලා මට්ටු වෙන්න එපා. මම ඕවාට කැමැති නෑ කියලා. එදා ඉඳන් මගේ රාජකාරි ජීවිතේ විනාශ වුණා. එදා ඉඳන් සර් පළිගන්න පටන් ගත්තා. මට විවිධ කරදර කළා. මට මීට පෙර දවසක රස්සාව එපා වෙන තරම් බැන්නා. මගේ අස්සන් ලේඛන පවා වෙනස් කරලා තිබුණා. සර් මට කියනවා පෑන මගේ අතේ තියෙන්නේ, ඔයා තාම ඉන්නේ පරිවාස කාලයේ ඔයාව මට අයින් කරන්න පුළුවන් කියලා.

මම තුන් වතාවක් කාර්යාලයට යන්න ගියා. ඒත් මට එළියෙන් ඉන්න කිව්වා. මවුපියන්, ළමයි මගේ දිහා බල බල යනවා. මම මෙතන රාජකාරි කරපු රජයේ නිලධාරිනියක්. මටත් ගරුත්වයක් තියෙනවා. ඒත් අද ඒ ගරුත්වය නැති කරලා තියෙනවා. සර් දැන් කාර්යාලය වහලා කලාපයට ගියා. මම දැන් එළියට වෙලා ඉන්නවා. මේ විදුහල්පතිවරයා එක්ක රාජකාරි කරන්න අමාරුයි. මම ස්ථාන මාරුවක් කලාප හා පළාත් අධ්‍යාපන කාර්යාලවලින් ඉල්ලුවා. තාම විසඳුමක් ලැබුණේ නෑ. මට රැකියාවෙන් අයින් වෙන්න හිතුණා. ඒත් දරුවන් තුන් දෙනාගේ අධ්‍යාපන කටයුතුවලට මුදල් හොයා ගන්න මේ රැකියාව අවශ්‍යයි" යනුවෙන් ඇය පැවැසුවාය.

අනුරාධපුර -මහේෂ් විජේසූරිය
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment