ගෙවල් ප්‍රශ්නය ඇද්ද අනිකා විනෝදිනී ඇලොසියස්ගේ හිටපු පෙම්වතියලු රවීගේ දුව ඔනෙලාත් එකම පාසලේලු


ගෙවල් ප්‍රශ්නය ඇද්ද අනිකා විනෝදිනී
ඇලොසියස්ගේ හිටපු පෙම්වතියලු
රවීගේ දුව ඔනෙලාත් එකම පාසලේලු



මේ දිනවල විදේශ ඇමති රවී බරපතල අමාරුවක දමන්නට හේතුවූ කොල්ලුපිටියේ මොනැක් මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක දෙකේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය මෙතරම් දුරදිග ගියේ එහි හිටපු හිමිකාරිණිය වූ අනිකා විනෝදිනී විජේසූරිය දිගින් දිගටම එහි කරුණු සඟවන්නේ නැතිව කොමිසම වෙත ඉදිරිපත් කළ නිසාය.ගිවිසුම් විනාශ කරන ලෙස ඇලෝසියස් ඉල්ලීම් කර තිබියදීත් ඒවා විනාශ නොකරන්නටත් අකුරක් නෑර සාක්ෂි සහිතව ඒවා ගෙන හැර දක්වන්නටත් ඇය කටයුතු කරන ලදි.
කොලම්බු ටෙලිග්‍රාෆ් ලිපියකින් අනාවරණය කර තිබෙන්නේ  අනිකා විනෝදිනී යනු අර්ජුන් ඇලෝසියස් විවාහ වෙන්නට ප්‍රථම
පෙම්වතියවී සිටි තැනැත්තිය බවයි.
අනිකාත්,ඇලෝසියසුත්,රවීගේ දුව ඔනෙලාත් ග්‍රෙගරි පාරේ පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගත් මිතුරන් වූ බව ඇය ජනාධිපති කොමිසම හමුවේදීද කියා තිබුණි. නමුත් පෙම් සබඳතාවයක් ගැන හෙළි කර තිබුනේ නැත. අනිකා විනෝදිනී උපතින්ම ධනවත් පැළැන්තියට අයත්වූ කෙනෙකි.
සුප්‍රකට ව්‍යාපාරික නහිල් විජේසූරිය යනු අනිකාගේ පියාය.
කොමිසම හමුවේදී ඇලොසියස් හා රවි පවුලේ සම්බන්ධය ඇය හෙළි කර තිබුනේ පහත පරිදිය.
 “මම කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලැබුවා. 2011 සහ 2012 කාලයේ කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන විට මම අර්ජුන් ඇලෝෂියස්ව සමීප මිතුරෙක් හරහා හඳුනාගත්තා. එහෙත් ඒ මිත්‍රත්වය ඒ කාලයේම අවසන් වුණා. මම කොළඹ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබද්දී ඒ පාසලේ ඉගෙනුම ලැබූ රවි කරුණානායක ඇමතිවරයාගේ දියණිය වන ඔනෙල්ලා කරුණානායක මෙනෙවියව හඳුනාගෙන තියෙනවා. රවි කරුණානායක මහතාගේ බිරිඳ වන මේලා කරුණානායක මහත්මියව මම 2016 පෙබරවාරි මාසයේ සිට හඳුනාගත්තා.
මේ කියන නිවස කොල්ලුපිටියේ ‘මොනැක්’ තට්ටු නිවාසයේ, 5 පී.එච්.2, අංකය දරන තට්ටු නිවාසය.

එය මම මිලදී ගත් එකක්. මම 2016 ජනවාරි මාසයේදී පමණ මේ තට්ටු නිවාසය බදු දෙන්න තීරණය කළා. ඒ අතරේ රවි කරුණානායක නිවසක් සොයන බව මට සහෝදරයා දැනුම් දුන්නා. ඉන් පසුව රවි කරුණානායක මහතාගේ බිරිඳ මේලා කරුණානායක මහත්මියට මම දුරකථනයෙන් කතා කළා.

ඒ මොහොතේ ඇය කතා නොකළත් පසුව කතා කොට නිවස බලන්න ආවා.
ඇය ආවේ තනියම. නිවස බලා ඇය යම් කෙනෙකුට දුරකථන ඇමතුමක් ගත්තා. ඉන්පසුව අර්ජුන් ඇලෝෂියස් නිවසට ආවා. ඔවුන්ට නිවස කුලියට ගැනීමට අවශ්‍ය වුණා. ඉන්පසුව ඔවුන් ගියා.
මම පසුව අර්ජුන් ඇලෝෂියස්ට නිවසට කුලියට දීමට කැමති බව කීවා. ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අනුව නිවස කුලියට දුන්නා. මාස හයක කාලයකට තමයි නිවස කුලියට ගත්තේ.
ඔවුන් පදිංචිවීමෙන් පසුව අර්ජුන් ඇලෝෂියස් මට පසුව කතාකළා. රවි කරුණානායකගේ නිවාස කුලිය තමන් ගෙවන බව මාධ්‍යවල පළවී ඇතැයි කීවා. මම ඒ පුවත් සොයාගෙන කියෙව්වා. මම යළි ඒ ගැන අර්ජුන් ඇලෝසියස්ගෙන් ඇහුවා. ඔහු ඒ මොහොතේ කිව්වා ඒ බදු ගිවිසුම් විනාශ කළා කියලා. මා සතු පිටපත විනාශ කරන්න කියලා ඔහු ඉල්ලුවත් මා එසේ කළේ නැහැ. මම මේ ගැන මේලා කරුණානායකට කිව්වා. ඇය කිව්වා ඔවුන් වරදක් කරලා නැහැ කියලා.

මේ සිදුවීම වෙද්දී මාස හයේ බදු ගිවිසුම් කාලය අවසන් වී තිබුණා. ලබාගත් අත්තිකාරම් මුදල් වෙනුවෙන් තව මාස දෙකක කාලයක් ඉතිරිවෙලා තිබුණා. නිවස මිලදී ගන්න කියලා මම ඒ වෙලාවේ මේලා කරුණානායක මහත්මියට යෝජනා කළා. මම නිවසේ මිල යෝජනා කළේ රුපියල් මිලියන 180කට. එහෙත් අපි කතාකරලා මිල රුපියල් මිලියන 165කට නියම කරගත්තා. ඔවුන් මිල ගෙව්වේ ණයක් අරගෙන කියලා කිව්වා. මේ නිවස මිලදී ගත්තේ ‘ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික්’ පුද්ගලික සමාගම නමට.‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment