මායිම ලකුණු කල කහපාට මල් වැල
ඔත්පලව ඇද වැටී ඇත..
මල් උනත් පිපෙන්නේ ඉඳ හිටය..
ඔහේ පැද්දුන අඹ ගහේ ඔංචිල්ලාව නම්
පපුව මැද්දට වෙන්න
නැංගුරම් දා ඇත..
හරියටම හිත,
කොලරා වසංගතයට පසු
අත හැරිය වරායකි..
මේ සියල්ලටම පසුව
මට නැවත ෆ්ර්මිනා හමුවිය..
ෆ්ලොරොන්තිනෝ මේ කාලේ නොසිටියේ වාසනාවට යැයි,
සිතුනේ ඇය හමුවුන පසුවය..
දැන් සියළු රහස් දන්නේ ජනේලයකි..
හඳට කී කතා
තරු වලට පෑ හාදකම්
පාරිශුද්ධ දුම් වළලු
ඉඳ හිට වහින
හාදු වැසි පවා..
සමහරක් හුස්ම නාස්පුඩු වල
වදින හඬ පවා ඇසෙයි,
රාත්‍රිය දැන් නිහඬය..
පිළිවලය..
ප්‍රේමයේ උත්කෘෂ්ඨ ,
කඳුළු ගංඟා පවා ගලා යන්නේ
භූගතවය..
0 comments :
Post a Comment