වලවේ ගගේ ජලය අපිරිසිදුයි, දහස් ගණනකගේ ජිවිත අවදානමේ

වලවේ ගගේ ජලය අපිරිසිදුයි, දහස් ගණනකගේ ජිවිත අවදානමේ

ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි බලධාරීන් නිසි කලට පිළිතුරු නොසෙවීම නිසාවෙන් අද වන විට ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි නොයෙක් ගැටළු පැන නැගී තිබේ. මිනිසුන් පාරට බැස විරෝධතා කරන තුරු ඔවුන්ගේ ජිවිත අවධානමට ලක්වන තුරු බලධාරීන් ජනතා ප්‍රශ්න ගැන අවධානය යොමු නොකිරීම, සොයා නොබැලීම කනගාටුවට කරුණක් වේ.

ඒ අයුරින් කාලයක් තිස්සේ පවතින අතිශයින්ම සොයා බලා කඩනමින් විසඳුම් සෙවිය යුතු විශාල සමාජ ගැටළුවක් වන වලවේ ගඟ රක්ෂිතයේ ජීවත්වන ජනතාව නිසා වලවේ ගඟ අපවිත්‍ර වීම හා ගඟ රක්ෂිතයේ ජිවත්වන මිනිසුන් ඉවත්කර ඔවුන්ට සුදුසු ප්‍රදේශයන්හි ඉඩම් ලබාදීම සිදු කල යුතුව තිබුනත් මේ වනවිටත් එය සිදුකිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය නිසි අයුරින් යොමුවී නොමැති නිසා වලවේ ගඟ පරිහරණය කරන ජනතාව මෙන්ම අම්බලන්තොට ජල සම්පාදන මණ්ඩලයෙන් පානීය ජලය ලබාගෙන ජල පරිහරණය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවද අවදානමක ලක්වී තිබේ.

මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කීපයකදීම මාධ්‍ය මගින් පවා තොරතුරු අනාවරණය කළත් එම කාලයට පමණක් රක්ෂිත කෙරෙහි අවධානය යොමු කරන බලධාරීන් හට මේ වන විට එය අමතක වී ගොස්ය.

ගංගා රක්ෂිත

ගංගා වන්ගේ රක්ෂිත සම්බන්ධයෙන් 1930 මෙන්ම 1949 දී පනත් කෙටුම්පත් සකස් විය. එහිදී 1949 දී රජයේ ඉඩම් අඥා පනතේ ජලමර්ගයන්හි රක්ෂිත වෙන්කිරීම සිදුවිය. ඒ අනුව පතුලේ පළල අඩි 10 ට වඩා අඩුනම් ඉවුරේ සිට අඩි 16 ක් පළල් කළ යුතුය. පතුලේ පළල අඩි 10 සිට 25 දක්වා නම් එම ප්‍රමාණය අඩි 33 දක්වාද, 25 සිට 50 දක්වා නම් අඩි 66 ක් ද 50 සිට 75 දක්වා නම් අඩි 66 දක්වාද රක්ෂිත පළල් විය යුතුය. නමුත් මෙම නීති පොත්වලට පමණක් සීමා වී ඇත. ඒ නිසාම අද වන විට ලංකාවේ ජලමාර්ග රක්ෂිතයන්හි විවිධ අනවසර ඉදිකිරීම් වර්ධනය වෙමින් තිබේ. මෙහිදී සිදුවන විවිද මානව ක්‍රියාවන් නිසා විශාල වශයෙන් ජලමාර්ග අපවිත්‍ර ව‍ෙ.

අද වන විට වලවේ ගඟේ රක්ෂිතයද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මායිම් ගල්වලට පමණක් සිමා වී තිබියදී තවත් පිරිසක් තම බලපුලුවන්කාරකම් අනුව බලධාරීන්ගේද ආශීර්වාදය ලබාගනිමින් රිසිසේ තම ස්ථිර ඉදිකිරීම් සිදුකරන්නේ රටේ පවතින නීතියේ සැමට සමාන බව බිඳලමිනි.

වලවේ ගඟ අපවිත්‍ර වන්නේ කෙසේද ?

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අම්බලන්තොට උතුර සහ බෝලාන දකුණ යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ පවුල් 200 කට අධික ප්‍රමාණයක් මේ වනවිට ජීවත්වන්නේ වලවේ ගඟේ රක්ෂිතය තුල වේ. මේ අතර සිංහල, දෙමල හා මුස්ලිම් යන ජාතීන් තුනටම අයත් පවුල් ජීවත්වේ. වලවේ ගඟ මායිමේ ජීවත් වන මේ ජනතාව ගෙන් බොහෝදෙනා වැසිකිලි යාමට යොදාගන්නේද ගඟ ඉවුරයි. එමෙන්ම වැසිකිලි වලවල් ගඟ අද්දර සදා තිබෙන නිසා නිරන්තරයෙන් සිදුවන ගගේ වතුර වැඩිවන අවස්ථාවන්හි එම වැසිකිලි වලවල් උතුරා ගොස් ගඟට එක්වෙයි. බොහොමයක් වැසිකිලි වලවල් නිසි අයුරින් තනා නොතිබීම මේ තත්වය උග්‍ර වීමට හේතුවී ඇත. අනවසර වැලි ගොඩ දමන්නන් නිසා ගඟ ඉවුරු ඛාදනය වීම තුලින් ගඟ දෙපස ඛාදනය වී අපද්‍රව්‍යය එකතු වීම වැඩිවේ.

එමෙන්ම එදිනෙදා කටයුතුවලදී ඉවත ලන ජලය, අපද්‍රව්‍ය ගඟ දෙපස සිටින ජනතාව නිසා ගඟට එක්වෙයි. අද වනවිට මෙය විශාල ප්‍රශ්නයක් වී ඇති මුත් බලධාරීන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවද මේ සම්බන්ධයෙන් ඒ තරම් අවදානයක් නොදක්වයි.

ලවන බාධකයේ බලපෑම

අම්බලතොට ජලසම්පාදන මණ්ඩලයට අයත් ජල පිරිපහදු මධ්‍යස්ථානයට ජලය ලබා ගන්නා ජල පොම්පාගාරය පිහිටා තිබෙන්නේ විශාල වශයෙන් ගඟට අපවිත්‍ර එකතුවන ප්‍රදේශයක වේ. පොම්පාගාරයේ සිට මීටර් 50 ක පමණ දුරින් එසේ ගඟට අපවිත්‍ර එකතුවන ප්‍රදේශය අරම්භ වන අතර එම ප්‍රදේශය කිලෝමීටර් 8 ක් පමණ දුරට විහිදී යයි. ජල පොම්පාගාරයට ලවන ජලය මිශ්‍ර වීම වලක්වාලීමට මෑතකාලයේ ඉදිකරතිබෙන ලවන බාධකය නිසා එම ස්ථානයේ අපද්‍රව්‍ය රැස්වීමේ අවදානම වැඩි වී තිබේ. එමෙන්ම වලවේ ගඟේ සුළු වතුර වැඩිවීමකදී පවා ගඟේ ජලය වැසිකිලි වලවල් හා එක්වීම මෙන්ම විවිධ අපද්‍රව්‍ය එකතු වීම සිදුවේ.

ඇත්තෙන්ම වලවේ ගගේ ජලය අපිරිසිදුයි, නමුත් අපි ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කරන බව දකුණු හා නැගෙන හිර භාර ප්‍රධාන රසඥ ඊ.ඒ. එදිරිසිංහ මහතා ප්‍රකාශ කර සිටියි. එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ 'ඇත්තෙන්ම ලංකාවේ කිසිදු තැනක නියමාකාරයෙන් රක්ෂිත නෑ. ජල මාර්ගයන්හි රක්ෂිත තුළ කුමන හෝ ඉදිකිරීම් කරලා තියෙනවා. වලවේ ගඟ එක ප්‍රදේශයක් නොවෙයි. නමුත් මේ අයුරින් වලවේ ගඟේ ජලය අපිරිසිදු නිසා එය පිරිසිදු කරන්න අපිට විශාල පිරිවැයක් යොදවන්න සිදුවෙලා තියෙනවා. එ්ක විශාල පාඩුවක්. කොහොම උනත් ගංගා ජලය අපිරිසිදු වීම තුළ බෝවන මෙන්ම බෝ නොවන රෝගයන්ද පැතිරීමේ අවදානමක් තියෙන බවයි එදිරිසිංහ මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම ජල පොම්පාගාරයට ආශ්‍රිත ප්‍රදේශ තුළ ජීවත් වන විවිධ පුද්ගලයින් කුකුලන්, හරකුන් වැනි සතුන් මරා ඒ සතුන්ගේ ශරීර කොටස් බෑග්වල දමා ගඟට දැමීම නිසා ඒවා ගසාගෙන විත් ජල පොම්පාගාරය අසල සිරවෙන බවත් එහි තිබෙන දුර්ගන්ධය නිසා ඒවා ඉවත් කරන සේවකයින්ද අපහසුතාවයට ලක්වන බව අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ නිලධාරීන් පවසා සිටිති.

මේ තත්වය යටතේ දැනට ජල සම්බන්ධතා ලබා දී තිබෙන පාරිභොගිකයින් සංඛ්‍යාව දස දහස ඉක්මවයි. එමෙන්ම දිනකට ලක්ෂයකට අධික පිරිසක් එම ජලය පරිහරණය කරනු ලැබේ.

තවදුරටත් මේ අකාරයෙන් වලවේ ගඟ අපවිත්‍ර වීම සිදුවන්නේ නම් ඒ තුළින් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත අවදානමකට ලක්වේ. එමනිසා ගඟ රක්ෂිත සුරක්ෂිත කලයුතුය. එම රක්ෂිතවල ජීවත්වන ජනතාව ඉන් ඉවත්කර ඔවුන්ට වෙනත් ප්‍රදේශයන්හි තට්ටු නිවාස හෝ ඉඩම් ලබා දිය යුතුය. ඒ සඳහා දේශපාලන බලපෑම් සිදු නොකළ යුතුය.

කෙසේ නමුත් මෙම රක්ෂිත තුළ ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කර සිටී.

නිලුකා
'අපිට ඉඩම් දෙනවා කියා හැමදාම කියනවා. නමුත් අපිට ඉඩම් ලැබුනේ නෑ. හැමදාම ගංවතුරක් එනකොට අපේ ගෙවල් යටවෙනවා. අපිට අදින්න ඇඳුම් පවා නැතිවෙනවා. අපිට රජයෙන් කිසිම සහනයක් නෑ. අපේ මහත්තයා කුලී කරලා තමයි ජීවත්වෙන්නේ. නිලධාරින් කියන්නේ රක්ෂිතවල ඉන්න නිසා ඉඩම් දෙන්නේ නෑ කියලා.'

සැමට සෙවන ලබාදෙනු වස් හම්බන්තොට ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වුවත් ඉන් බහුතරයක් ලැබෙන්නේ සැබෑ නිවාස අහිමි ජනතාවටද යන්න මේ තුළින් ප්‍රශ්නයක් මතුනොවන්නේද ? දේශපාලන වශයෙන් අතමිට සරු අයට පමණක් ඔබින එම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් දේශපානඥයින් බලාපොරොත්තුවන්නේ කුමක්ද යන්න ප්‍රශ්න කළයුතු නොවේද ? මේ අනුව මෙම ජලය අපිරිසිදු වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ බලධාරීන් බව මෙයින් මොනවාට කියාපායි.

ටී. බාලක්‍රිෂ්ණන් (33)
'අපි අවුරුදු හතක් (7) තිස්සේ ජීවත් වුනේ ගඟ අයිනේ. අපිට කොහෙවත් ඉඩම් ලබා දුන්නේ නෑ. අපිට යන්නෙයි කියලත් තැනක් නෑ. මේකේ තමයි අපි ජීවත්වෙලා ඉන්නේ ගංවතුර අපුවාම මේ ඔක්කොම යටවෙනවා. ඇත්තෙන්ම හොඳ තැනක ඉඩම් දෙනවානම් අපි යනවා.'

එස්. ඩබ්ලිවු. ධර්මසිරි
'අපිට ඉඩම් දුන්නා, අපි මේවා දාලා යන්න කැමති නෑ. මට දුන්න ඉඩම මගේ පුතාට දුන්නා. මෙහෙ වතුර ටික, පාර තියෙනවා. ගංවතුරට මේ ගෙවල් කඩන ගිහිල්ල තියෙනවා. ආයි හදනවා. පවුල් දෙක තුන ඉන්න නිවාසවලට එක ඉඩමක් දුන්නම තාත්තා ගිහින් පුතාට ඉඩම දෙනවාඅ. මම මැරුණත් මෙතන තමයි මැරෙන්නේ.'

අද වනවිට එකම නිවසේ පවුල් තුනක් සමග ජිවත් වන ටී.අයි.එන්. බහමන්
'මම ජීවත්වෙන්නේ ගොවිතැනෙන්. මටයි මගේ දරුවන්ටයි ඉඩම් ලබා දෙනවා නම් ඕන අවස්ථාවක මෙතනින් ඉවත් වෙලා යන්න කැමතියි.'

එමෙන්ම බහමන් මහතාගේ ලේලිය වන ඒ.ජේ. ජස්මීනා (28) මෙසේ අදහස් දක්වන ලදී' 'අපිට ඉඩමක් ලබාදුන්නොත් අපි යනවා. අපිට ඉඩම් දෙනවා කිවුවත් තාම හම්බ උනේ නෑ. ඉඩම් දෙනවානම් අපි යනවා.'

කිඹුලන් නිසා ගඟ අද්දර සිටින ජනතාවට ජීවිත අවදානමක්ද පවතී. සෑම නිවසක පාහේ කුඩා දරුවන් සිටී. ඔවුන්ගේ ජීවිත, ගඟ නිසාත් එහි සිටින කිඹුලන් නිසාත් දැඩි අවදානමකට ලක්වී තිබේ.

ප්‍රශ්නය මෙසේ තිබියදී අද වනවිට විවිධ පුද්ගලයින් තව තවත් තම බලපුලුවන්කාරකම් හා දේශපාලන හිතවත්කම් භාවිතා කරමින් වලවේ ගඟ රක්ෂිතය ආක්‍රමණය කරමින් ඇති අතර බලධාරීන් තවදුරටත් අන්ධයින් බිහිරන් සේ සිටීම කණගාටුවට කරුණකි.

කෙසේ නමුත් විවිධ අංශ කීපයක පවතින මෙම ගැටලුවට කඩිනම් පිළිතුරු සෙවීමට දේශපාලන අධිකාරිය මෙන්ම අදාල බලධාරීන් පක්ෂ පාට භේදයකින් තොරව සෘජුව මැදිහත් නොවන්නේ නම් වලවේ ගඟ දෙපස සිටින ජනතාවට මෙන්ම අම්බලන්තොට ජලසම්පාදන මණ්ඩලය මගින් මුදා හරින පානීය ජලය පරිහරණය කරන ජනතාවගේද ජීවිත අවදානම ගැන ඔවුන් වගකිව යුතු නොවේද ?

හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

 

 

 

 

 

 

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment