ගජබින්නාලංකාරය යනු මනක්කල්පිත බොරු කන්දරාවකැයි සමහරු කල්පනා කරති. පොතක නමක් සේ පෙනුනද එහෙම පොතක් තිබිය නො හැකි යැයිද ඔවුන් සිතනුවා විය හැකියි.
එහෙත් ඇත්ත වශයෙන්ම ගජබින්නාලංකාරය නමින් පොතක් තිබිනි. එය කවි හැට තුනක පොතකි. අබරා හා ඒරොප්පෙ සිමය්යා අතර සිදුවුනු සංවාදයක් සේ රචනය වී ඇත. කර්තෘ අවිනිශ්චිතයි.
අවුරුදු හැට හැත්තෑවකට පෙර ගජබින්නාලංකාරය කියවා ඇති රාජකීය පණ්ඩිත විලියම් අල්විස් මිත්‍රයාට තවමත් මතක ඇති එක කවියක් මෙසේයි.
"කිලිකුණු නැති වඳිගෙ පුතෙක්
ඇඳගෙන නිල්වලා කඩක්
මිරිඟු දියෙන් නානය කර
පැලඳ දිඹුල් මල් වඩමක්
තුරඟ අඟින් රථය තනා
අදිනට ඉබි ලොමින් යොතක්
කුහුඹු අඟින් කෙවිට තනා
දැක්විය සුරපුරට උදක්"
කිලිකුණු නැති වඳ ගැහැණියකගේ පුතෙක් මිරිඟු දියෙන් ස්නානය කොට නිල් වලාකුළක් ඇඳගෙන අට්ටික්කා මල් මාලයක් දමා ගෙන, (අට්ටික්කා ගහේ මල් එන්නේ නැත) අශ්ව අඟින් තැනූ රථයක් අදින්නට ඉබ්බන්ගේ ලොම්වලින් කඹයක් හදා ගෙන ඒ රථය කෙලින්ම දිව්‍ය ලෝකයට දක්කා ගෙන ගියේය.
බොරු කීයක් ද ? මේ ඔක්කොම ගජබින්න.
ඇත්තටම අද තිබෙන ඇතැම් මාධ්‍ය වාර්තාකරණයන් දිහා බැලුවම ගජබින්නාලංකාරයේ කතුවරයාට මේ අයට අලගු තියන්නවත් පුලුවන් ද කියල හිතෙනව. ඒ සියලු දෙනා අතරින් විමලුත්, ඔහුගේ වෙබ් පුවත්පතත් පළමු ස්ථානයේ ඉන්නව කියලා කියන්න පුලුවන්. පහුගිය අවුරුදු දෙකක කාලය තුළ එකී වෙබ් පුවත්පතේ පළවූ ප්‍රවෘත්ති කීපයක් මේ.
ප්‍රවෘත්තිය පළවූ වාර ගණන
- ජනාධිපතිවරයාට එරෙහිව එ.ජා.ප.යෙන් දෝෂාභියෝගයක් 53
- රනිල් අගමැති කමින් පන්නා ශ්‍රී.ල.නි.ප. යෙන් අගමැතිවරයෙක් 66
- ඒකාබද්ධයේ රැලිවලට ආණ්ඩුවේ මැති, ඇමැතීන් එක්වෙයි 97
- ආණ්ඩුවේ මැති ඇමැති රොත්තක් ඒකාබද්දයට-මහින්ද සමඟ සාකච්ඡා 85
- මහින්ද ගේ ප්‍රජා අයිතිය අහෝසියි 22
- රාජපක්‍ෂ පවුල අත්අඩංගුවට 40
- එ.ජා.ප.යෙන් රනිල්ට විශ්වාස භංගයක් 64
- ආණ්ඩුව පෝය දෙකෙන් පෙරළනවා - මහින්ද 20
- " සති දෙකෙන් " - ඩලස් 10
- " අවුරුද්දේ අග " - ශ්‍රී.ල.නි.ප.මැති ඇමැතීන් 50
- උතුරේ කොටි නැගිටිති 657
- ප්‍රධාන රාජ්‍ය නායකයකයන් මිය යන බවට අනාවැකි 18
පසුගිය දෙවසර තුළ මහින්දලාගේ, වීරවංශලාගේ, ඩලස්ලාගේ මේ ප්‍රවෘත්ති තුළින් සත්‍ය වූ එකක් හෝ තිබේද ? නැත. එහෙත් මෙවැනි විකෘතීන් නිර්මාණය නොකලේනම් පසුගිය දෙවසර තුළ ඔවුන්ට ඉතිරි වී සිටින සිය ආධාරකරුවන් ටික හෝ කෙසේ රැක ගන්නද. මේ ආධාරකරුවන්ට අඳෝසංසාරයක් නොමැත.මහින්දට දුටු ගැමුණු යැයි කෑ ගසන අතරතුරේම ශිරන්තීට විහාර මහා දේවී යැයි කෑ ගසයි. මේ සඳහාම ඇප කැප වූ මාධ්‍යකාරයන් නඩයක් හා මාධ්‍ය ආයථන කීපයක් ද ඔවුන් ඉතා හොඳින් නඩත්තු කරනු ලබයි. මෙකී මාධ්‍ය නඩය ආණ්ඩුවේ මැති ඇමැතීන් ගෙන් ප්‍රශ්ණ කරන්නේ මේ ගජබින්න මූලාශ්‍රකොට ගෙනය.
ඉන්පසු ඒවා ගුවන් විදුලි, රූපවාහිනී හෝ පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨ, එසැන පුවත්, බ්‍රේකින් නිවුස්, බිග් ස්ටෝරි බවට පත්වේ. එනයින් බලන විට පසුගිය දෙවසර ආණ්ඩුවේ මැති ඇමතීන් ඉතා සූක්‍ෂම ලෙස සිය න්‍යාය පත්‍රයට කොටුකර ගැනීමට විමල්ලා, ඩලස්ලා සහ මහින්දලා සමත් වී ඇත. ඒ ඔවුනගේ තිබෙන දක්‍ෂකමකට වඩා ආණ්ඩුවේ බොහෝ මැති ඇමතීන්ගේ තිබෙන්නා වූ මයික් මේනියාවට පින්සිදු වන්නටය. මුල්පිටුවලට කියවන්නේ මේ පට්ටපල් කෙප්පයන්‍ය. සිව්වන රාජ්‍ය යනු ගජබින්නාලංකාරයය.
ඩී.එෆ්. කාරියකරවන සූරීන් තව දුරටත් මෙසේ කියයි. බොරුව යන්නට සාමන්‍යයෙන් බින්න යැයි කියතත් එහි ඊට වැඩි අරුතක් ද ඇත. එසේ වන්නේ බින්න හේද යනුවෙන් යෙදුනු කල්හිය. බින්න භේද යනු බිඳීමට හේතුවන බොරු කේලාම් ය. ඉදින් මහජනයා සතු ගුවන් තරංග ලබා ගනිමින් මේ මාධ්‍ය ආයථනයන් හා මාධ්‍යකාරයන් සිදුකරන්නේ කුමක්ද ? අළුයම පන්සිල් සමාදන් වී රාත්‍රියේ කරණීයමෙත්ත සූත්‍රය කියනා තුරු ජාතීන් වශයෙන්, ආගම් වශයෙන්, එකිනෙකා වශයෙන් භේද බින්න කිරීම නොවන්නේද ? බොරු කේලාම් සමාජගත කිරීම නොවේද ? ආණ්ඩුවද මෙයට වගකිව යුතුය. මන්ද කුකුළන් කෙටවීම නීතියෙන් තහනම් වුවත් මිනිසුන් කෙටවීම සඳහා නීත්‍යානුකූල බලපත් ලබාදී ඇති නිසාය.
අසබ්බින්න යනු අසභ්‍ය වූ බොරු කීමය. කැත බොරු ය. ගජ බින්න යනු මහ ලොකු බොරුය. ගජ යනු ඇතාය. ඇතකු මෙන් ලොකු බොරු ගජබින්න නම් වේ. මේ සියලු ගජබින්නාලංකාරයන් හා ගජබින්නයන් අතරින් විමලුත් ඔහුගේ වෙබ් පුවත් පතත් පරයා යන්නට සමතෙක් තවම බිහිවී නොමැත. අලිපැටියෙක් අමතක වෙලා පන්සලේ දමා ගොස් ඇතැයි ගජ බින්නයක් කීවේ විමල් ය. ගජබින්නාලංකාරය ලියුවේ මීට වසර හැට හැත්තෑවකට පෙර යැයි ද එහි කර්තෘ අවිනිශ්චිත යැයි ද කාරියකරවන මහතා කියයි. එසේ වුවත් ගජබින්නාලංකාරය ලියුවේ ඇතැම්විට විමල් යැයි අපට අනුමාන කල හැක.එවිට ඔහුගේ වයස හැට හැත්තෑවක් වේවිද යන සැකය කෙනෙකුට මතුවිය හැක. ඒත් එය නොවන්නටද බැරි නැත. මන් ද උප්පැන්නයේ උපන් දිනය වෙනස් කල බවට ඔහුට අධිකරණය හමුවේ නඩුවක් ඇත.
ඥානසිරි කොත්තිගොඩ
0 comments :
Post a Comment