මේ කුදලාගෙන යන්නේ තවත් ‘කොණ්ඩයෙක්’ද? 'මී හරකා' ගේ සිට 'ගිරිබාවේ ස්ත්‍රී දුෂකයා' දක්වා..

මේ කුදලාගෙන යන්නේ තවත් ‘කොණ්ඩයෙක්’ද? 'මී හරකා' ගේ සිට 'ගිරිබාවේ ස්ත්‍රී දුෂකයා' දක්වා..

එදා අපේ රටේ සමහර ප්‍රේක්ෂකයන් ‘මී හරකා’ නැරඹුවේ, ඒ වසරේ සරසවි සම්මාන උළෙලේදී ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකාගේ රංගනය පවා පැරදවූ ලින්ටන් සේමගේ ගේ විශිෂ්ට රංගනය නරඹන්නට නොවේ. ඉංග්‍රිසි ගුරුවරිය ‘දුෂණය කරන කෑල්ල’ බලාගන්නට ය. මේ ලෙසටම, හඳගමගේ ‘තනිතටුවෙන් පියාඹන්න’ සමහරුන් නැරඹුවේ අනෝමා ජනාදරීගේ නිරුවත දැකගන්නට ය. එහිදී අවසාන දර්ශනයෙන් බලාපොරොත්තු කඩකරගත් ඇතැම් ප්‍රේක්ෂකයෙක් “හරියට ...වත් නෑනෙ..” යැයි විස්සෝප වූ බවට ද ඒ දිනවල වාර්තා පළ විය.!

මී හරකා හි ගුණපාල මළපොතේ අකුරක් නොදන්නා, ජීවිත කාලයටම පාසලකට පය නොතැබූ, පය තැබුවත් ලිංගික අධ්‍යාපනය ගැන අකුරක්වත් හරිහැටි නොඋගන්වන රටක උපන් කාලකණ්නියෙකි. එනම්, අවාසනාවන්ත සහ දුක්ඛිත මනුෂ්‍යයෙකි. මේ චරිතය, මෙයට කලකට පෙර රට හෙල්ලු සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට ආදේශ කරමු. සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් ‘කොණ්ඩයා’ද ගුණපාලට දෙවැනි නැත. ඔහු ද උපන්තේකට පාසලට ගොඩ නොවූ, ගොඩවූවත්, ලිංගිකත්වය සහ ගැබ්බර වීම අතර සම්බන්ධය සහ විසංයෝජනය කියා නොදෙන ‘ප්‍රාග් ඓතිහාසික සෙක්ස් අධ්‍යාපනයක්’ ඇති රටක ඉපදුණු කාලකණ්නි මනුෂ්‍යයෙකි. ගංජා ගැසීමෙන් පමණක්ම නිවන සොයන්නෙකි. අපේ රටේ මාධ්‍ය සහ ඊනියා සමාජය ඔහු විසින් සේයා සදෙව්මි දැරිය ජීවත් වූ නිවසට ජනේලයේ ග්‍රිල් ගළවා ඇතුල් වූ මොහොතේ පටන් ඇයව කුදලාගෙන ගොස් දූෂණය කර මරා දැමූ අවස්ථාව දක්වා සෑම දෙයක්ම, මේ ලෝකයේ සිටින විස්තරාත්මකම චිත්‍රපට පිටපත් රචකයාට ද වඩා හොඳින් ‘බලාගෙන සිටියා සේ’ අමු අමුවේ කියන්නට පටන් ගත්තෝය.! ප්‍රසිද්ධ මාධ්‍ය විසින් ‘ප්‍රවෘත්ති ඇනිමේෂන්’ පවා විකාශනය කෙරුණේය. ඒ පෙන්නූ චිත්තරපටිවල හැටියට සේයාට ඒ අහස පොළොව නූසුළන අපරාධය කළේ කොණ්ඩයා විසින්ම ය. අන් කෙනෙකු විසින් නොවේමය. මෙසේ සමාජය විසින් සේයා සිද්ධිය විමර්ශනය කර, නඩුව අසා කොණ්ඩයාව එල්ලා මරා වළදැමීමෙනුත් පසුව හෙළිවූයේ නියම අපරාධකරු කොණ්ඩයාගේ සහෝදරයා බව ය.! ඔය අතරේ සිය ලැප්ටොප් පරිගණකයේ අසැබි දර්ශන අතර සේයාගේ ඡායාරූපයක් ද ළඟ තබාගෙන සිටි නිසා අත්අඩංගුවට ගත් ගැටවර පාසල් සිසුවාට සිදුව තිබුණේ පොලිසියට මූලික අයිතිවාසිකම් පාඩම් කියාදෙන්නට ය.!

අපි නිතරම සැකකරු සහ අපරාධකරු පටලවා ගනිමු. අපරාධයක් වූ සැණින් බුද්ධිය විකල් කර ගනිමු. සමාජ සහකම්පනය අති විශිෂ්ට ලක්ෂණයක් නමුත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් නැති රටකට සහකම්පනයේ ආදේශ වීම, විකල් ජනයාගේ කැළඹීමකට එහා යන දෙයක් බවට පත් නොවේ. එසේ විකල් බුද්ධියෙන් ‘පන්ච් වෙමින්’ අපරාධ දෙස බැලීමට අවශ්‍ය සම්පාදක ධාතු ද නූතන ලාංකේය සමාජයේ ඕනෑවටත් වඩා වැඩියෙන් තිබේ. පොලිස් විමර්ශනවල විසුළුසහගත බවේ සිට විටෙක වසර විස්සක් දක්වා ඇදෙන අපරාධ නඩු ප්‍රමාදය සහ 10% කට අඩුවන අපරාධ අභිචෝදන ප්‍රතිශතය ඒ අතරින් කිහිපයක් පමණි. නමුත් වසර 134 ක ‘පෞරාණික වටිනාකමකින් යුක්ත දණ්ඩ නීති සංග්‍රහය’, සැලකිය යුතු අන්දමින් අප්ඩේට් නොවන අපරාධ නඩු විධාන සංග්‍රහය සහ පොලිස් ආඥා පනත යනාදිය අතේ තියාගෙන විමර්ශන කරන පොලිස් රාළහාමිලාට ද මේ අනුව විශාල වරදක් කිව නොහැක්කේ, මේ පවතින සමස්ත යුක්තික පද්ධතියේ අර්බුදයට තනි පුද්ගල වගකීමක් ආදේශ කිරීම විටෙක අසාධාරණ නිසා ය. මහජන ආයතන මිය යාම, පුද්ගලයෙක් මිය යාමට වඩා හැමවිටම ඛේදජනක නිසා ය.

දැන්, මෙබඳු මහජන කැළඹීම්වල ආසන්නතම සිද්ධිය වන ගිරිබාව වෙත යමු. කැලෙන් අල්ලාගත් වන සතෙක් ලෙසින් සරමක් ඇඳගත් මිනිසෙක් පොලිසිය විසින් රැගෙන ගියේය. මේ වන විට ඒ මිනිසාගේ නම, ගම පමණක් නොව පදිංචි ස්ථානයේ ලිපිනය ද යනාදී ඔහුගේ සියලුම පෞද්ගලික විස්තර ‘ජනසතු’ කර හමාර ය. මේ මොහොතේ ප්‍රසිද්ධ මාධ්‍ය සියල්ලම තම රේටින්ස් වැඩි කරගනිමින් සිටින්නේ ගිරිබාව දැරියගේ සිද්ධියෙනි. විමර්ශන අවසාන වන තෙක් දින දහයකට මේ මිනිසා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ‘රක්ෂිත බන්ධනාගාරගත කිරීම’ හෙවත් ‘රිමාන්ඩ් කිරීම’ සහ, ‘බන්ධනාගාර ගතකිරීම’ හෙවත් ‘හිරේ යාම’ අතර වෙනස බහුතර සමාජය නොදැන සිටීම ඛේදජනක ය. මේ අල්ලාගෙන සිටින්නේ සැකකරුවෙකු පමණක් බවත්, තවත් සැකකරුවන් සිටිය හැකි බවත්, වරදකරු බව ඔප්පු වන තෙක් සියලු සැකකරුවන් නිර්දෝෂී බවත්, ස්වභාවික යුක්ති මූලධර්ම සහ ශිෂ්ට ලෝකය අනුදකින නීතිය මත පාලනයේ (නීතියේ ආධිපත්‍යය යැයිද කියන) පරම සංකල්පය අනුව ‘නීතියෙන් නියම කරනු ලබන ක්‍රමයකින් හැර අන් කිසි ක්‍රමයකින් කිසිදු තැනැත්තෙකුගේ නිදහස සහ ජීවත් වීමේ අයිතිය සීමා කළ නොහැක්කේය’ යන්න පවා මේ ‘පන්ච්වීම’ හමුවේ සැමට අමතක වී යයි. යම් හෙයකින් නඩු විභාගය අවසානයේ පවා, සැකකරුම වැරදිකරු බව සනාථ වුවහොත් හෙවත් ලංකාවේ අපරාධ සිද්ධි 100කින් අවස්ථා 5කදී හෝ 10කදී පමණක් සිදුවන “ඉතා දුර්ලභ ගණයේ සිදුවීමක්" වශයෙන්, මූලික විමර්ශනවලදී පොලිසිය විසින් මේ අල්ලාගෙන තිබෙන්නේ ‘හරි මිනිහා’ම බව නඩු විභාගය අවසානයේ සනාථ වේ නම්, එය එක් අතකින් එය සුචරිතවාදීන්ගේ අති මහත් පැසසුමට ලක්වනු ඇත. අනෙක් අතින් එය නීතියේ ආධිපත්‍යය ලද ජයග්‍රහණයක් ද වනු ඇත. නමුත් ක්ෂණික නිගමනවලට පනින ලාංකීය සමාජය ඒ සඳහා අවශ්‍ය කරන අවම කාලයවත් ලබාදෙන්නට සූදානම්ද...? මේ කුදලාගෙන ගියේ තවත් කොණ්ඩයෙක් නොවේ යැයි අප දැන්මම නිගමනය කරන්නේ කෙසේද?  

මේ අනුව ගිරිබාවේ දූෂකයා මේ මොහොතේ රිමාන්ඩ් භාරයේ සිටීම ඉතා හොඳ ය. දැනට පවතින්නේ ඔහුව මුදා හැරියහොත් ගම්මුන් එක් වී ගල් ගසා මරන තත්වයකි. සාක්ෂි සහ සැකකරුවන් අතර දෝලනය වන ශ්‍රී ලංකා පොලිසියේ ‘ලාච්චුවලට’ ගිරිබාව ප්‍රශ්නය නිසා වැඩ අධික වේ යැයි ශ්‍රී ලංකා පොලිසියේ වධහිංසා වාර්තාව සහ පාපොච්ඡාරණ ලබාගැනීමේ අනන්‍ය ක්‍රමවේද සිහිපත් කරන එක් වෙබ් මාධ්‍ය කමෙන්ටුවක සටහන් වී තිබේ. “නඩු නොඅසාම අරාබි ක්‍රමයට (විශේෂණ පද රාශියක් සහිත) ගිරිබාවේ දූෂකයාව මරා දැමිය යුතුය.”, “ඕකව ආයුධ පෙන්නන්න එක්කන් යන්න බැරිද?”, “තවත් කොණ්ඩයෙක් නම් මූව මැල්ලුම් කළත් කමක් නෑ!” මේ අපේ රටේ ජනයාගේ මේ මොහොතේ අදහස් ය.! සැබවින්ම මේ තවත් කොණ්ඩයෙක් නම් අප කළ යුත්තේ උගේ සහෝදරයා සොයා මැල්ලුම් කිරීමද? අප එසේ මැල්ලුම් කළ යුතුද? නැතිනම් මැල්ලුම් කළ යුත්තේ ‘කොණ්ඩයා’ හෝ ‘කොණ්ඩයාගේ සහෝදරයා’ හෝ ‘ගිරිබාවේ දූෂකයා’ බිහිකරන, සෙක්ස් අතිරික්තයක් රටේ නිර්මාණය කරන සමාජ ප්‍රපංචයන් නොවේද? 

අපරාධයක සම්පාදක ධාතු අතරින් වඩාත් වැදගත් සාධකයක් වන්නේ සාවද්‍ය මනස පිළිබඳ සිද්ධාන්තයයි. අපරාධ නීතියට අනුව සාවද්‍ය මනසකින් තොරව කරන කිසිදු ක්‍රියාවක් සාපරාධී නැත. (actus non facit reum nisi mens sit rea) මෙය සිත තබාගෙන දැන් අපි විද්‍යා ඝාතන නඩුව වෙත හැරෙමු. කයිට්ස් පුංකුඩතිව් හි පාසල් ශිෂ්‍යාවක වූ විද්‍යා සිවලෝගනාදන් දැරිය සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ නඩුව රහස් පොලිසියේ විමර්ශන සමග ප්‍රශංසනීය අන්දමින් විභාග වෙමින් තිබේ. නඩුවට අදාළ අධිචෝදනා පත්‍රයේ අධිචෝදනා 41 කි. මේ නඩුවේ 9 වන සැකකරු ස්විස් පුරවැසිභාවය හිමි මහාලිංගම් ශෂී කුමාර් නොහොත් සිවකුමාර් නොහොත් ‘ස්විස් කුමාර්’ ය. අධිකරණය ඉදිරියේ සනාථ වී ඇති කරුණුවලට අනුව සිද්ධියේ මහමොළකරු ඔහු ය. රංචු ගැසී ස්ත්‍රී දූෂණයේ යෙදෙන කල්ලියට ඔහු මත්පැන් ඇතුලු සියලු පහසුකම් සපයයි. නමුත් ඔහු දූෂණ ක්‍රියාවට සහභාගි වන්නේ නැත. අසරණ දැරියගේ කය, ‘ටච්’ කරන්නේවත් නැත. ඔහුගේ අරමුණ වෙන දෙයකි. මේ පාපතර අපරාධය පටිගත කර එම ‘ලයිව් වීඩියෝව’ අන්තර්ජාලයේ නිල් චිත්‍රපට වෙළඳපොළේ විකිණීම ය. දැන්, කොණ්ඩයාගේ බාල වර්ගයේ ජංගම දුරකථනයේත්, පාසල් සිසුවාගේ ලැප්ටොප් පරිගණකයේත්, ඊයේ අල්ලාගත් ගිරිබාව සැකකරුගේ ජංගම දුරකථනයේත් අසැබි ඡායාරූප හෝ වීඩියෝ තිබේ. මෙවිට මේවා සහ ස්විස් කුමාර්ලා අන්තර්ජාලයේ තනන ලිංගික රාජධානි අතර පවතින ඛේදනීය සමාජ විද්‍යාත්මක සබැඳියාව ඔබට පෙනේද? නීතියේ අර්ථයෙන් මෙන්ම සමාජ විද්‍යාත්මක අර්ථයෙන් ද මෙහිදී වඩා බරපතළ සාපරාධී මනස සංස්ථාපනය වන්නේ ලිංගික සන්තර්පණය සඳහා දැරියක් දුෂණය කළ යුතු තත්වයට වැටුණු අයගේ ක්‍රියාවෙන්ද, ස්විස් කුමාර්ගේ ක්‍රියාවෙන්ද?  

අනෙක් අතට යාපනයේ මිනිස්සු ස්විස් කුමාර්වද අල්ලා ගස් බඳිති. නමුත් ඔහු නිදුකින් පළා යයි. ඒ සඳහා ජේ්‍ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහාය ද ලබාගනියි. තවත් ප්‍රභූන්ගේ සෘජු සහ වක්‍ර සහාය ලැබුනු බවටද චෝදනා පවතියි. සිද්ධිය වන අවස්ථාවේ ස්විස්කුමාර් ඒ අහලකවත් නොසිටි බවත් හිටියේ කොළඹ වැල්ලවත්තේ ලැගුම් හලක බවත් පෙන්වා, ඒ අනුව ‘අන්‍යස්ථානිකභාවය’ නමැති නීතිමය සිද්ධාන්තය ඔප්පු කර නඩුවෙන් ගැළවීම සඳහා ඔහු ලැගුම් හලේ රිසිට්පත් පවා සූදානම් කරගෙන සිටියේය. ඔහුගේ සාපරාධී මනස අතිශයින් සැලසුම්සහගත ය. බරපතළ ය. අතිශය බරෙන් වැඩි ය. දණ්ඩනය හැමවිටම අපරාධයට සමානුපාතික විය යුතු හෙයින් දැන් මෙතැන උපරිම දඬුවම ලබාදිය යුත්තේ කාටද?

සංවේදී සිද්ධිවලදී අපරාධකරුවන්ට පෙර සමාජය පුනරුත්ථාපනය විය යුතුය. දොස්තොයෙව්ස්කිගේ අපරාධය සහ දඬුවම කෘතියේදී විමතියෙන් බලා සිටින ගණිකාවගේ දෙපා මුල කම්පිතව ඇද වැටෙන රස්කොල් නිකොව් මෙසේ කියයි. “මා ඔබට වැඳ වැටෙනවා නොවේ. ඔබ මේ තත්වයට ඇද දැමූ සමාජය වෙනුවෙන් මම ඔබෙන් සමාව අයදිනවා පමණයි..”!!

මෙය, සාධාරණ සහේතුක හෘද සාක්ෂියක් විසින් ශ්‍රී ලංකාවේ අපරාධ යුක්තියේ අවුල නමැති මහනඩුවේ, ජූරිය අමතා කළ දේශනය වශයෙන් සලකන්න.!

- නීතීඥ රදිකා ගුණරත්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment