පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි - මහ බැංකු අධිපති.


පසුගිය දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරඟයේ අවසාන භාගයේ දී ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වූ බාධාකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය හරහා මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර සිටින්නේ ප්‍රේක්ෂකයින්ගේ එම නොහික්මුණු හැසිරීම ශ්‍රී ලංකා පිලේ යොවුන් ක්‍රීඩකයින් අධෛර්යයමත් කිරීමට පමණක් නොව ලෝකය හමුවේ රට ද අපකිර්තියට පත්කරලීමට ද හේතු වනු ඇති බවයි.

වසර 20 ක් පුරාවට පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයේ තමන් සේවය කළ කාලය අතරතුර දී ලොව ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන සියලූම ප්‍රධාන  රටවල් මෙන්ම ලොව වටා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටවල් කිහිපයකට තමා සංචාරය කර ඇති බව කුමාරස්වාමි මහතා මෙහිදී කියා සිටී. එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ සිය රට හැරුණු විට ඒ සෑම රටකම ප්‍රේක්ෂකයින්ගේ දෙවැනියට කැමතිම රට බවට ශ්‍රී ලංකා පත්ව තිබූ බවයි. 1990 කාලපරිච්ඡේදයේ දී ක්‍රිකට් ක්‍රීඩාව තුළ බටහිර ඉන්දීය කොදෙව්වන් ගොඩනඟා ගෙන තිබූ ජනප්‍රියත්වය සහ ගෞරවාදරය ක්‍රමයෙන් හීනවී යාමෙන් පසු එම අවකාශය පිරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට හැකි වූ බව මහ බැංකු අධිපතිවරයා කියා සිටින්නේ ඒ තුළින් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම රට වෙනුවෙන් ද පෙනී සිටි මනා රාජ්‍ය තාන්ත්‍රිකයින් බවයි.

“එසේම මෙවැනි ක්‍රියා රටේ ආර්ථිකයට අත්කර දෙන්නේ ද අහිතකර ප්‍රතිඵලයකි. මේ වන විට ක්‍රීඩා සංචරණය (Sporting tourism), රටේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දෙන කර්මාන්තයක් බවට පත්ව තිබේ. සිය ජාතික ක්‍රිකට් පිල විදේශයන් හි ක්‍රීඩා කරන අවස්ථාවන් හිදී නිවාඩු පැකේජයන් ද සමඟ ඒ වෙනුවෙන්ම සංචාරය කරන සංචාරක පිරිසක් වෙති.  ඔවුන් තරඟ පැවැත්වෙන අවස්ථාවේ දී ක්‍රීඩාංගණයට පැමිණෙන්නේ තම පිල වෙනුවෙන් ජයඝෝෂා නැගීමටය. එහෙත් තරඟ අතරතුර ප්‍රේක්ෂකයින් විසින් මෙයාකාරයෙන් අවිනීත හැසිරීම් පිළිබිඹු කරන්නේ නම් එය මෙරටට පැමිණෙන සංචාරකයින් හට ද ලබා දෙනුයේ සෘණාත්මක ප්‍රතිරූපයකි. සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන අංශයක් වන බැවින් මෙවැනි ක්‍රියා රටේ සමාජයට හා ආර්ථිකයට එල්ල වන බලපෑම සුළුපටු නොවේ“, යැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

1973-77 වකවානුවේ දී ශ්‍රී ලංකා රග්බි XV හි නායකයා වූ කුමාරස්වාමි මහතා 1972-71 සහ 82-83 වකවානුවේ දී ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් පළමුපෙළ ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment