මෝදි කළු සල්ලි සුදු කළ හැටි

මෝදි කළු සල්ලි සුදු කළ හැටි

දුප්පත් අසරණ ඉන්දියානුවාට හදිසියකට ගන්නට නිවසේ පෙට්ටගමේ සඟවාගෙන තිබූ රුපියල් පන්සීයේ කොළයට මේ නිසා යන එන මං නැති වූ බව ඇත්තකි. ඔවුන්ට බැංකු ගානේ හැතැක්ම ගණන් දිග පෝලිම්වල කල් ගත කරන්නට ද සිදුවිය. ජීවිතයේ පළමු වතාවට අත්පිට මුදල් රහිත ගනුදෙනු සහ කාඩ් ගනුදෙනුවලට යොමුවන්නට ද සිදුවිය. නමුත් අනෙක් අතට, කිසිවෙකුත් නොසිතූ පරිදි මෙම වැඩපිළිවෙළ ආර්ථිකමය අතින් සාර්ථකත්වයේ ඵල නෙළා ගනිමින් සිටියි. 

ඉන්දියාවේ භාවිත මුදල්වලින් 85%ක් මේ නිසා අවලංගු තත්වයට පත්විය. මෝදි කියා තිබුණේ මේ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ කළු සල්ලි ඉවත් වන බව සහ අල්ලස පිටුදැකෙන බව ය. RBI හෙවත් ‘රිසර්ව් බෑන්ක් ඔෆ් ඉන්ඩියා’ විසින් පසුගියදා මේ භාවිත මුදල් අවලංගු කිරීමට අදාළ වැදගත් සංඛ්‍යාලේඛන එළි දැක්වීය. එයට අනුව මෝදි ගත් පියවර, ආර්ථිකමය වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් ද ඵල දරා තිබේ. ඒ මෙසේ ය. 

බදු නොගෙවන්නන් සඳහා නඩු පැවරීම් පසුගිය කාලයේ 24%කින් ඉහළ ගොස් ඇත. 42%ක වැඩිපුර බදු ආදායමක් එක් රැස් කර ගැනීමට ආණ්ඩුව සමත් වී ඇත. නව බදු ගෙවන්නන් ලක්ෂ 56.5 ක්, බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවට අලුතෙන් එක් වී ඇත. මුදල්වලින් 70%ක් පමණ ආපසු බැංකු කරා පැමිණෙමින් තිබෙන අතර ඉතිරි මූල්‍යය, රටේ ආර්ථිකය වෙනුවෙන් සංසරණය වෙමින් තිබේ. 
අනෙක් අතට ත්‍රස්තවාදීන්ට සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූවන්ට බොහෝ විට මුදල් ගෙවන්නේ අත්පිට මුදල්වලින් වූ නිසා ඔවුන් අධෛර්යමත් විය. මෙයට කදිම නිදසුන, ‘ස්ටෝන් පෙල්ටර්ස්’ හෙවත් ‘ගල් ගසන්නන්’ හෙවත් ගල් ගසමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන ඉන්දු කාශ්මීර තරුණයන්ගේ ආදායම සහමුලින්ම පාහේ අහිමි වීමයි. “හදිසියේම ඉන්දු කාශ්මීරයේ ගල් ගැසීම නතර වීමට හේතුව’ මෙය බවට පසුගිය සමයේ පළවූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා බොහෝ ය. අද වන විට ඉන්දු කාශ්මීර නිම්නය සියයට සියයක් නොවූවත් සියයට අනූවක් පමණම, සාමකාමී ස්ථානයක් බවට පත් ව ඇති අන්දම අපට දැකගත හැකිය.

මේ සියල්ල අතරේ ඉන්දීය ආර්ථිකය මේ මොහොතේ අත්දකිමින් සිටිනා විශාලතම ජයග්‍රහණය වන්නේ සැකකටයුතු බැංකු ගනුදෙනුවල සීඝ්‍ර අඩුවීමයි. එසේත් නැතිනම් ඒවා හඳුනාගත හැකි වීමයි. බැංකුවකට පැමිණ මුදල් තැන්පත් කරන්නා බැංකුව මෙන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුව ද ‘දන්නා පුද්ගලයෙකු’ වීම මගින් ඔහු මත පැවරෙන වගකීම මගින් මේ විනය ඇති වී තිබේ. බදු නොගෙවා නීතියෙන් පළා යමින් සිටිනවුන්ට ඉන්දීය රජය ලබාදුන්නේ පැය 4 ක් වැනි සුළු කාලයකි. මේ කාලය, ඔවුන් සතු කළු සල්ලි හෝ නීති විරෝධී සල්ලි තිබේ නම් ඒවා වලංගු මුදල් බවට හරවාගැනීමට කොහෙත්ම ප්‍රමාණවත් වූයේ නැත. අනෙක් අතට” අයථා ක්‍රමවලින් උපයාගත් මුදල් බැංකුවේ ධනය බවට තැන්පත් කරලීමෙන් පමණක් ඔවුන්ට නීතියේ රැහැනින් පළා යා නොහැකි වූයේ” ඒවා උපයාගත් මාර්ග ප්‍රශ්න කරමින් බලධාරීන් ඔවුන් පසුපස පැමිණෙන්නට පටන් ගත් නිසා ය. 

භාවිත මුදල් අවලංගු කිරීමේ මෝදි සැලසුම, දීර්ඝකාලීන ප්‍රයෝජනවලින් ද යුක්ත ය. අත්පිට මුදලින් කරන ගනුදෙනුවල පටන් ඩිජිටල් ගනුදෙනුවලට මාරු වීමේදී විනිවිදභාවය ඉහළ ගිය අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් දූෂණය බොහෝ ප්‍රමාණයකට පහළ ගියේය. බදුවලින් පළා යන්නන් හට බදු නිලධාරීන්ගෙන් පළා යාමට අපහසු විය. 

නරේන්ද්‍ර මෝදි අගමැති පදවියට පත්වූ වහා පෙප්සි සහ කොකාකෝලා බහුජාතික සමාගම්වලට පැවසුවේ ඉන්දියානු පළතුරු ගොවීන්ගෙන් පළතුරු මිලදී ගෙන ඒවායින් ෆෘට් ජූස් සෑදීම පටන් ගත යුතුය කියා ය. තොරතුරු පනත කදිමට ක්‍රියාත්මක වන ඉන්දියාවේ මෝදිගේ කල්ක්‍රියාව ගැන විමසමින් ඉදිරිපත් වූ තොරතුරු ඉල්ලීම් ගණන 20කට ආසන්න ය. මේ අතර ගතවූ වසරේ නවරාත්‍රී සමයේදී වතුර (මිනරල් වෝටර්) සහ පළතුරු යුෂ (ෆෘට් ජූස්) බීම පිණිස මෝදි කොතරම් ජනතා මුදලක් වැය කරනවාද යන්න ද විමසා තිබිණි. එහිදී හෙළි වූයේ ගතවූ වසරේදී ඔහු එකී පානය සඳහා ඉන්දීය රුපියල් කෝටියක් වැය කර තිබෙන බව ය.!

අගමැති පදවියට පත්වීමෙන් අනතුරුව ඔහු මේ දක්වා එකම එක නිවාඩුවක්වත් ගෙන නැත. මේ අතර ඔහු උග්‍ර හින්දුවාදියෙකි. ගුජරාටයේ හටගත් මුස්ලිම් කෝලාහලවලින් මුස්ලිම් ජාතිකයන් ප්‍රමුඛ 1000 ක් ඝාතනය වන විට එහි මහඇමති වශයෙන් සිටියේ ඔහු ය. මෙනිසා ඇමරිකාව වසර 9 ක් යන තෙක් ඔහුට ඇමරිකානු වීසා ලබාදුන්නේ ද නැත. කෙසේ නමුත් හැම අලුත් වැඩකදීම තම මවගේ ආශිර්වාදය ලබාගන්නට පුරුදුව සිටින මෝදි” ගුජරාටයේ මහ ඇමති පදවිය භාරගන්නා දවසේ තම මව දුන් උපදෙසක් පසුව හෙළි කර තිබේ. එදා ඇය ඔහුට කියා තිබෙන්නේ මෙසේ ය. “Beta, Kadi lanch na leis". එහි තේරුම “පුතා” කවදාවත් අල්ලස් ගන්න එපා..” යන්නයි. 

මෝදි ගැන ඔබට බොහෝ විවේචන තිබෙන්නට පුළුවන. නමුත් භාවිත මුදල් අවලංගු කර නව නෝට්ටු සහ අත්පිට මුදල් අවම ගනුදෙනු රටාවක් හඳුන්වා දීම තුළින් ඔහු ඉන්දියාවේ ආර්ථිකයට සහ දේශපාලනය සංස්කෘතියට නව මෙහෙවරක් කර තිබේ. එහි අනාගත ප්‍රතිලාභය පුරවැසියාට ය.

 
-ක්‍රිෂාන්ති රාජපක්ෂ  

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment