මුස්ලිම් ප්‍රජාවටත් උතුම් ‘ඊදුල් _ අල් හා’ උළෙලක් වේවායි ශුභාශිංසන පිරිනමමි…

MS_HA

බෙදීම් පමණක් දිස්වන ලොවක අනේ‍යාන්‍ය බැඳීම් මෙන්ම නායකත්වයට අවනතවීමේ ශික්ෂණය සමාජගත කරනු ලබන හජ් උත්සවය ලොවට දෙනු ලබන උතුම් පණිවුඩය වනුයේ සමානාත්මතාව තුළ ගොඩනැඟෙන උත්කෘෂ්ට සමාජ සාධාරණත්වය යැයි හජ්ජි උත්සවය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටි.

මානව ඉතිහාසයේ ඇත යුගවල මිනිසා සාමූහිකව එක්රැස් වූයේ ආගමික වතාවත් උදෙසාය. යුග ගණන් ඇවෑමෙන් වර්තමානයේදීද තමන් අදහන ආගම් සමඟ බැඳී පවත්නා ඔවුහු ස්වකීය ආගමට අනන්‍ය වූ වත්පිළිවෙත් රකින්නට සාමූහිකව කැපවෙති.

ලොව ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් හජ් වන්දනාවේදී එකට එක්ව එකම අරමුණකට නතුව, එකම භූමියක රැස්වන්නේ, මනුෂ්‍යත්වයේ සාමූහිකත්වය උත්කර්ෂවත් කරමිනි. මෙම ආගමික පිළිවෙත තුළින් විශ්ව ප්‍රජාවට සන්නිවේදනය කරනුයේ සමාජයීය සහජීවනයේ මහිමයයි. දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය බැඳීම විචිත්‍රවත් කරනු ලබන හජ් වන්දනාව මිනිසා අතර පවත්නා අපමණක් පුද්ගල අනන්‍යතා නොතකා නන් දෙසින් පැමිණෙන සියලු බැතිමතුන් එකපෙළට, එක ලෙසට දෙවියන් නමදින මහා ආගමික පූජාවක් වේ.

මනුෂ්‍යයන් අතර සමානාත්මතාව සජීවීකරණය කරනු ලබන ශුද්ධ වූ මක්කා භූමිය කේන්ද්‍ර කරගනිමින් ලොවට ගලා යන උතුම් පණිවුඩය තුළ රැඳී අරුත ගරු කරමින් හජ් වතාවත් සිදුකරන ඉස්ලාම් බැතිමතුන්ටත්, ලෝකවාසී සමස්ත මුස්ලිම් ප්‍රජාවටත් උතුම් 'ඊදුල් _ අල් හා' උළෙලක් වේවායි ශුභාශිංසන පිරිනමමි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment